එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 18 October 2013

෴ සීත දුරුවන්නෙ අද වාගෙ රැයකයි..෴



        ජෝතිපාල නැවත කියවමු ......... 09 වන කොටස


සිංහල චිත්‍රපට ගීත‍ සංස්කෘතියේ එච්.ආර්.ජෝතිපාල සතුවූ භූමිකාව කෙබඳු එකක් දැයි ඔහුගේ චිත්‍රපට ගීතාවලිය ඔස්සේ මේ තකාබහ ඇරඹුවේ මීට වසර එකහමාරකට ආසන්න කාලයකට පෙරය. එසේ වුවත් එකී කතාබහෙන් අන්තිමට නතර වූ තැනින් මාස 10කට පමණ පසු  යළිත් ඒ කතාව ආරම්භ කරන්නට සිතුනි. ඒ මෙවැනි සටහනක් එක දිගට ලියනවාට වඩා කඩින් කඩ ලිවිමත් එක් ආකාරයක ඒකාකාරී බවින් මිදීමට සුදුසු බව හැගුණ හෙයිනි. ඒ නිසා  විටින් විට කල් දමා තිබූ ඒ මියුරු සංගීතමය කතාබහ  යළිත් කොටස් කිපයක් මගින්  එදා සිනමාවේ  රසාලිප්ත චිත්‍රපට ගීත ඔස්සේ අරඹමි.

70 දශකයේ සිංහල චිත්‍රපට නාමාවලිය බෙහෙවින්ම පිරී තිබුණේ කලු සුදු  වාණිජ එහෙත් වාණිජත්වය තුළද කාලාත්මකව  සිනමා නිර්මාණයන් ය. ඒ දශකය තුළ සම්භාව්‍ය සිනමා කෘතිද අඩුවැඩි වශයෙන් දක්නට ලැබුණි. විශේෂයෙන්ම එදා ඒ වාණිජ චිත්‍රපට ඉන්දියානු හින්දි සහ දෙමල චිත්‍රපට ඔස්සේ යමින් හින්දි සිනමාවේ සහ දමිල සිනමාවේ ජනප්‍රිය ගී තනු කොපි කරමින් කලාත්මක වාණිජ සිනමාව ගොඩනැගී තිබුණි.

විශේෂයෙන්ම 70 දශකයේ බිහිවූ වාණිජ චිත්‍රපට එකින් එක ගත්තත් ඒ සිනමාවේ ගොඩනැගුණ සියළුම චිත්‍රපට කතා පුවත් වීරයා දුෂ්ඨයා‍, වගේම පෙම්වතා පෙම්වතියගේ රැඟුම්  ඇතුළත් ජවනිකා වලින්  පෝෂණය වි තිබුණි. එකල  රංගනයෙන් ගාමිණි - මාලනී පෙම්වතුන් ලෙස රඟපෑ  ජවනිකාවලට රසිකයන්ගේ ඉහළම ප්‍රසාදය හිමිවු බැවින් ඔවුන්ගේ චරිත සඳහා ජෝතිපාලගේ ගායන දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබුණි. විශේෂයෙන්ම සාමාන්‍ය චිත්‍රපට ප්‍රේක්ෂයකයන් සිනමාහල්වලට පැමිණියේ ගාමිණි - මාලනීගේ ප්‍රේමවන්ත රංගනයට ජෝතිපාලගේ ගීතයකින් රිදම් එකක් ගන්නට ය. ඒ නිසාම‍ ගාමිණී - මාලනී රඟපෑ බොහෝ  චිත්‍රපටවල ජෝති - ඇන්ජලින් ගී ගයද්දී  චිත්‍රපටයේ පසුබිම් කතා පුවත විඳ ගැනිම කෙසේ වෙතත් සිනමා හලේ ප්‍රේක්ෂකාගාරය එකම බජව් පොලක් බවට පත්වන්නට ගත වූයේ  නිමේෂයකි.

ඒ නිසාම එදා තැනූ චිත්‍රපටවල  වීරයාගේ චරිතයටත් දුෂ්ටයාගේ චරිතයටත් ජෝති ගීයෙන් දායක  වෙද්දී ඔහුගේ ගායන භූමිකාවේ හඬ පෞරුෂය ඒ හැම සිනමා කෘතියක් පුරාම විහිදී තිබුණ බව පැහැදිළි  වන්නේ ඒ චිත්‍රපට නාමාවලිය පිරික්සන විට ය.

ඒ දශකයේ වාණිජ චිත්‍රපට සංස්කෘතියේ දැවැන්තයන් වූ  ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, ජෝ දේව් ආනන්ද්, රොබින් තම්පෝ  වැනි අය සිනමා කර්මාන්තයේ පෙරමුණේ සිටි අතර  කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා , තිමති වීරරත්න, කිංස්ලි රාජපක්ෂ වැනි අය කලාත්මක වාණිජ චිත්‍රපට කලාව තුළ යම් පමණක කලාත්මක සිනමාව  නියෝජනය කරමින් ඒ ඔස්සේ සිනමාවේ වාණිජ රැල්ල ගොඩනගමින් සිටියහ.

වාණිජ චිත්‍රපටවල චිත්‍රපට පසුබිම් සංගිතයෙන් පී.එල්.ඒ. සෝමපාල, ටී.ඒ. ලතීෆ්, එම්.කේ. රොක්සාමි, මොහමඩ් සාලි,  ආර්. මුත්තුසාමි වැනි සංගීතඥයෝ ජනප්‍රිය හින්දි සහ දමිල ගී වලට ලාංකේය ජවය ලබා දෙමින් ඒවා ලාංකික නිර්මාණ බවට තහවුරු වන තැනට නිර්මාණ කරණයේ නියැලුණහ.


එසේ වුවත් කේමදාස - කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සුසංයෝගය ඒ වන විටත් සිංහල සිනමාව තුළ ගොඩනැගෙමින්  තිබුණි. කේ.ඒ.ඩබ්ලිව්.ගේ චිත්‍රපට මුලුමනින්ම සංගිතවත් කළේ කේමදාස මාස්ටර් විසිනි. ඇතැම් විට එය එදා කලාත්මක වාණිජ සිනමාවේ අලුත් අත්හදා බැලිමක් වන්නට ඇත. කේ.ඒ.ඩබ්ලිව්.ගේ සීයේ නෝට්ටුව චිත්‍රපටය සඳහා කේමදාසයන්   නන්දා මාලනියට දේදුනු පායා පාට වැටෙනවා  ගිතය හද්දී ඊට හාත්පස වෙනස් වූ “හද උමං තනා ගැඹුරින් ගැඹුරේ” ගිතය ජෝතිපාලට නිර්මාණය කළේය. ඔගස්ටස් විනයාගරත්නම්ගේ ඒ දුර්වල පදමාලාවට කේමදාසයන් ජනප්‍රිය සංගීතයේ නව මුහුණුවර ලබාදී තිබුණි. ඒත් එය එතරම් ජනප්‍රිය නොවුණි.
1972 වර්ෂය වන විට ජෝති චිත්‍රපට පසුබිම් ගායනයේ හිනිපෙත්තට ළංවෙමින් සිටියේය. ඒ වසරේ තිරගත වූ ලෙනින් මොරායස්ගේ “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටය ඊට හොඳ නිදසුනකි. ඒ චිත්‍රපටයේ සංගීතය හා ගී තනු එම්.කේ. රොක්සාමි මාස්ටර්ගේ ය. රොක්සාමි මාස්ටර් ඒ චිත්‍රපටයට ගීත 07 ක් නිර්මාණය කළ අතර ඒ ගිත 07ම අදටත්  ජනප්‍රිය ගීත ය. ඒ ගීතවලින් 03 ක්ම  ගැයුවේ ජෝතිපාල විසිනි. ඒ ගීත අතර සුදුපාට මීදුම් ගලාලා - ජෝති/ ඇන්ජලින්, කොයි යන්නේ බඳ ලෙළවා - ජෝති/ ඇන්ජලින්, ආදරයෙන් මත්වීලා-  ජෝතිපාල, මේ ගීත ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ඒවායේ රස භාවයන් අදටත් වලංගුය. මතු දැක්වෙන ගීය ඒ “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපට ජවනිකා නැවත නැවතත් සිහි ගැන්විමට කදිම නිදසුනකි.

සුදුපාට මීදුම් ගලාලා - අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැඳීලා - දෙදෙනාට රහසේ කියාදේ
ආදරේ........... ආදරේ.......

නීල ඔබෙ දෑස යහනාව සුවදේ
දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබ‍‍ඳේ
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ

ඈත දිය ඇල්ල පිස ආව සුළඟයි
එන්න අත ගන්න ළං වෙන්න සිසිලයි
සීත දුරුවන්නෙ අද වාගෙ රැයකයි
සීන එළිවන්නෙ හෙට ආයෙ හිරුටයි
සීන එළිවන්නෙ හෙට ආයෙ හිරුටයි


ගී පද මාලාව: කරුණාරත්න අබේසේකර

සංගිතය: එම්.කේ. රොක්සාමි

ගැයුම: එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක




ඒ අයුරින්ම 1972 වසරේ තිරගත වූ ජෝ දේව් ආනන්ද් ගේ “සුජීවා” චිත්‍රපටයටද ජෝතිපාල ගැයූ ගීත දෙකක්ම ඇතුළත් කර තිබුණි. ඒ යුගයේ නිෂ්පාදනය වූ බොහෝ චිත්‍රපටවල සංගීතය හා ගී තනු නිර්මාණය සඳහා සංගීතඥයින් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහභාගී වී තිබේ. සුජීවා චිත්‍රපටයද එවැනි චිත්‍රපටයකි. එම චිත්‍රපටයේ සංගීතය ටී.එෆ්. ලතීෆ් විසින් නිර්මාණය කර තිබු අතර ගීතනු නිර්මාණය කර තිබුනේ ගලගදර  එම්.එම්.ඒ. හක් විසිනි. හක්ගේ ගි තනු ස්වතතන්ත්‍ර නිර්මාණ බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනිමයි. ඒ අතර ජෝතිපාල ගැයූ චන්දන ඇල්ලෙන් නාලා ගීතයත් , ජෝතිපාල -  ඇන්ජලින් ගැයූ “නුපුරුදු හැගුමකි” ගීතයත් ජෝතිමත් ගීත අතර රැඳී ඇත.

ඇතැම් විට ඒ යුගයේ වානිජ චිත්‍රපටවලට ඇතුළත් වූ ගීත බොහොමයක් බැලූ බැල්මට හරසුන්, ප්‍රලාප සේ පෙනුණුනද ඒවා ලියා තිබුණේ කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්තිද අල්විස්,  වැනි ගීත රචකයෝ ය. ඔවුහු අවස්ථාවට අනුගත වෙමින් ගීත රචනයේ නියැලෙමින්, ඕනෑම ගායන ශිල්පි‍යකු හෝ ශිල්පිණියකට ඕනෑම ආකාරයක ගීතයක් කවියක් ලිවීමේ අපූර්ව වූ පුතිභාව අත්පත් කරගෙන සිටියහ. ඒ නිසා ඔවුහු ජෝතිපාල වැනි ගායන ශිල්පියෙකුට හෝ ඇන්ජලීන් ගුණතිලක වැනි ගායිකාවකට චිත්‍රපට ගීත  හෝ සරල ගීත ලියද්දී ඕනැම රසිකයෙකුට වරක් ඇසූ පමණින් වැටහෙන අයුරින් සරල වාග් මාලා ඔස්සේ ගීත ලියන්නට සමත් කම් දැක්වූවෝ වෙති. සුජීවා චිත්‍රපටයේ මේ ගීය ඊට නිදසුනකි.

චන්දන ඇල්ලෙන් නාලා - අංජන මල් මී ගාලා

හැංගුණ බමරා ආවා - ලස්සන රහසක් කීවා



මලට මුවා වී ඉන්නේ - මල්පෙති යට සැඟවෙන්නේ

                   හදකට තුරුළුව ඉන්නේ - ලෝකය නෑ එය දන්නේ



දහසක් නෙත් යොමු වන්නේ - එනමුත් නෑ හඳුනන්නේ

ඇසි පිය යට සැගවෙන්නේ - සිහින ලොවේ හමුවන්නේ



එක කුසුමකි පිබිදෙන්නේ - එක වන බමරෙකි ඉන්නේ

දෙබරුන් සේනා නොඑන්නේ - වෙනසක් නෑ සිදුවන්නේ



ගීපදමාලාව: ධර්මසිරි ගමගේ

සංගිතය: ටී.එෆ්. ලතීෆ්

ගී තනු : ගලගෙදර එම්.එම්.ඒ.හක්

ගැයුම: එච්.ආර්.ජෝතිපාල



අද මෙහෙමයි චිත්‍රපටය තිරගත වූයේද 1972 වර්ෂයේදි ම ය. එයද ජෝතිමත් ගීතවලින් රැව් දුන් චිත්‍රපටයකි. රොබින් තම්පෝගේ අද මෙහෙමයි චිත්‍රපටයේද සංගිතය නිර්මානය කර තිබුණේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු අතිනි. පී.එල්.ඒ සෝමපාල සහ ආර්. මුත්තුසාමි ඒ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා ය. චිත්‍රපටයට ගීත 05 ක් ඇතුළත්ව තිබු අතර ඒ සියලු ගීත රචනා කරුණාරත්න අබේසේකරයන් විසින් ලියා තිබුණි. ඒ අතරින් එක් ගිතයක් පමණක් ජෝතිපාල විසින් අද මෙහෙමයි චිත්‍රපටයට ගයා තිබුණි. ඒ මේ ගීතයයි.ගීතය හින්දි තනුවකි.

ජීවිතේ තරුණ කාලේ - එක සේ නොරැ‍ඳේ

සොයමී සැම වේලේ - සිතු දේ පැතු දේ



ආදර රසේ සිතුදේ ලබන ලෙසේ

බමරා බමන සේ යමි මං නිදහසේ

සතුටයි දුකයි එක සේ දැනේ

අනන්ත සුන්දර දිවි මල් උයනේ



රෑ ගණදුරේ දිලෙනා පහන සේ

බාධා මැද මෙසේ බලමි ලොව රසේ

අහසයි බිමයි නිවසයි මගේ

හෙටක් කෙරේ නෑ විශ්වාසේ



දාවල රැයේ වෙනසක් මට නැතේ

ඔබගේ මඳහසේ ඇතිවී නැති වෙතේ

උන්නු ගමන් යන්න යතේ

මිනිස්සු මෙලෙසයි මේ ලෝකේ



ගීපදමාලාව: කරුණාරත්න අබේසේකර

ගී තනු: ආර්. මුත්තු සාමි

සංගිතය: පී.එල්.ඒ.සෝමපාල

ගැයුම: එච්.ආර්.ජෝතිපාල



ඒ අයුරින් හින්දි සහ දමිල ගී තනුවලටත්, ස්වතන්ත්‍ර  ගී තනුවලටත් සරල බසින් ගී ගැයු ජෝතිපාලගේ චිත්‍රපට ගීත ඒ වාණිජ චිත්‍රපටවලට පෙම් බැඳි රසිකයෝ ඇතැම්විට ගී රස විදින්නට පමණක් චිත්‍රපට නැරඹූහ. එදා ඔවුන්  චිත්‍රපට නරඹා සිනාශාලාවලින් එලියට පැමිණියේ  සිනමාහල්වල ශත 25 ට ශත 50 ට විකිණූ චිත්‍රපට ගීත පොත් ද රැගෙනය.

ජෝතිපාලගේ චිත්‍රපට ගීතාවලිය එසේ සරල බසින් හැඩ ගැසෙද්දී කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සිංහල චිත්‍රපට කලාව තුළ වාණිජ චිත්‍රපට වලට නව මුහුණුවරක් දෙමින් සිටියේය. ඔහු නිර්මාණය කළ 1972 දී තිරගත වූ ලොකුම හිනාව චිත්‍රපටයද කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් හැඩගැන්වීය. ලොකුම හිනාව චිත්‍රපටය වෙනුවෙන් කේමදාස මාස්ටර්ගේ සංගීතයට ජෝතිපාල ගීත දෙකක් ගැයුවේ ය. ආකාස කඩන් ඉරහඳ පෙරලන්- කරුණාරත්න අබේසේකර, කැකුළු මලක පෙති- ප්‍රේමකීර්ති ද අල්විස් ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක,  ගීත දෙක ජෝති ගැයූ ස්වතන්ත්‍ර ගීත නිර්මාණයන්ය. එය කේමදාස මාස්ටර්ගේ වාණිජ චිත්‍රපට සංගීතයේ තවත් වෑයමකි. එසේ වුවද ඒ ගීතවලට  එතෙක් ජෝතිපාල ගැයූ හින්දි ගි තනු අභිබවා යාමට හැකියාවක් නොලැබුණි. එසේ වුවත් ඒවා යම් ප්‍රමාණයකට ජනප්‍රිය ගීත බවට පත්ව තිබුණත් බොහෝ ප්‍රේක්ෂකයෝ ඒවා ස්වතන්ත්‍ර නිර්මාණ බව නොදත්හ. ඔවුන්ට ඒවා ස්වත්නත්‍ර ගීතද එසේත් නැත්නම් හින්දි හෝ දමිල අනුකාරක ගීත ද යන්න වැදගත් නොවූයේ ජෝතිපාලගේ හඬ පෞරුෂය ඒ වන විටත් රසිකයන්ගේ ගී හඬ බවට පත්ව තිබුණ හෙයිනි.෴

තවත් කොටසක් ඉදිරියට............................................



Tuesday 1 October 2013

෴ යාය 06 ඉස්කෝලේ ෴




 වත්කම් අතර හිතවත්කම රඳවන්නට කළ හැකි හොඳ වැඩක්

අද ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනය; ඒ වගේම වැඩිහිටි දිනය. ඒත් මම මේ සූදානම් වෙන්නෙ ලෝක ළමා දිනය ගැන හෝ වැඩිහිටි දිනය ගැනවත් කතාබහක් කරන්න නෙවෙයි. ඊට තරමක් වෙනස්, ඒත් යහපත් හෙට දවසක මතු පරපුරක් වෙනුවෙන් කිසියම් හෝ දායකත්වයක් ඔබ සතුව තිබේදැයි  බලන්න අස්වැන්නට පුංචි ඉල්ලිමක් වගේම  ලැබුණා. සාමාන්‍යයෙන් අස්වැන්න කියවන සමහර සහෘදයන් විසින්   විවිධ ඉල්ලීම් එවනවා  අස්වැන්න හරහා  සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒත් ඉදිරිපත් වන අදහස හා එහි කාලින වැදගත්කම අනුව තමයි එවැනි ඉල්ලිමක් ඉටුකරන්න සිදුවෙන්නෙ. අද මම සටහන් කරන්නෙ එවැනි දුෂ්කර පාසලකින් ලැබුණු නිහතමානි ඉල්ලීමක්.

ලංකාවෙ හැම පාසලකටම නාගරික පාසල්වලට ලැබෙන හැම පහසුකමක්ම ලැබෙන්නෙ නෑ. ඒත් ඇතැම් පාසල් ඒ ජනප්‍රිය පාසල්වල තිබෙන සම්පත් දිහා බලාගෙන හූල්ලන්නෙ නැතුව අවම සම්පත් වලින් උපරිම වැඩ කොටසක් කරන්න  පෙළඹෙනව. ඒ වගේ  පාසලක්  පිළිබඳ තොරතුරු තමයි මේ.

  අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටා ඇති රාජාංගනය ප්‍රදේශයේ පිහිටා ඇති අංගමුව යාය 06 මහා විද්‍යාලය ඉතා දුෂ්කර ගමක පිහිටි පාසලක්. ඒත් මේ පාසැල  හතරවටින් යල මහ දෙකන්නයම සරු වුණ නිල්ල පිරුණු කෙත්වතු පිරිලා  ඒ  වගේම පොල් රුප්පාවලින් පිරුණු සුන්දර ගම් ප්‍රදේශයක පිහි‍ටි පාසැලක්. හරියටම කිව්වොත් ඩී.එස්.සේනානායක යුගයේ ලංකාවෙ කොළණි ක්‍රමය එහෙමත් නැත්නම් ජනපද ක්‍රමය යටතේ ඇරඹුන ගොවි ජන ව්‍යාපාරවලින් පටන් ගත්ත ගමක් තමයි අංගමුව කියන්නේ. එක් පසෙකින් කළා ඔය දකුණු නිම්නයත්, තවත් පැත්තකින් රාජංගනය ජලාශයත් ඒ ජලාශයේ දකුණු ඉවුරින් පෝෂණය වන අංගමුව ජලාශයත් වටකරගෙන බිහිවෙච්ච සුන්දර ගමක පිහිටි අංගමුව යාය 06 ඉස්කෝලේ  ගම් පියසේ දරුදැරියන් ලෝකය දකින විඳින සොඳුරු නවාතැනක්. හරියටම කියනව නම්  පහුගිය කාලෙ තිරගත වුණු ජැක්සන් ඇන්තනීගේ “අබා” චිත්‍රපටය රූ ගත කළේ අංගමවු මහා විද්‍යාලය ආසන්නයේ ඇති රජමහා විහාර භූමිය සහ ඒ අවට ප්‍රදේශයේ. අස්වැන්න ලියන මගේ උපන් ගමටත් කිට්ටුවම තියෙන ගමක්. ඒ තමයි ඔය පාසල පිහිටි වටපිටාව ගැන තොරතුරු. 
 
අංගමුව මහා විද්‍යාලය දරුවන්ට විධිමත් අධ්‍යාපන ලබා දීමට අමතරව, පාසල අවට ප්‍රජාවට (පාසලේ දරුවන්, දෙමාපියන්, අවට පාසල් වල දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්, ඇතුලු ප්‍රදේශයේ ජනතාව) ඔවුන්ගේ යහපත් රසවින්දනය වෙනුවෙන් දැනට අවුරුදු  එකහමාරක පමණ කාලයක සිට මාසිකව රසවින්දනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරනවා. මේ රසවින්දනාත්මක වැඩසටහන මුලුමනින්ම නිර්මාණය වෙන්නෙ ඒ පාසලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරන තුසිත කුමාර සහෘදයා, එහෙමත් නැත්නම් රසවතාගෙ කැපවිමත් දිරිගැන්විමත් එක්ක අංගමුව මහා විද්‍යාලයේ කලා සංගමය.
 
අංගමුව මහා විද්‍යාලයේ රඟහල

මේ සියලු කැප කිරීම් ඔස්සේ ගොඩනැගෙන දක්ෂතා ඔස්සේ ඒ පාසලේ දූදරුවන්  විවිධ අවස්ථාවන්හිදී ලබාගත් ජයග්‍රහණ සඳහා තිළිණ වශයෙන් ලැබුණු බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා ශබ්ද උපාංග භාවිතා කරමින් ඉතාමත් හොඳ  රසවින්දනයක් ලබා ගත හැකි විවිධ නිර්මාණ වල වීඩියෝ දර්ශන මසකට වරක් හවස 6.30 ට පෙන්වනවා. ඒ ඔවුන්ට ලැබුණ සම්පත්  ප්‍රයෝජනයට ගෙන  විද්‍යාලයේ ශාලාවක ආචාර්ය මණ්ඩලය සහ  දරුවන් විසින්  සකස් කරගත් අඩි 1812 පමණ ප්‍රමාණයේ තිරයක් භාවිතයෙන්. ඒ විතරක් නෙවෙයි ඔවුන් ඒ   පාසල අවට ප්‍රදේශ වල ගැමි ගොවි ජනතාවත් සමඟ ඒ නිර්මාණ  බෙදා ගන්නවා. එක් එක් දිනයට ‍ප්‍රදර්ශනය කරනු ලබන නිර්මාණයට අදාල ව  එය ප්‍රදර්ශනය කිරිමට පෙර  ඒ පිළිබදව කරනු ලබන  හැඳින්වීමක්  හා නිර්මාණය නැරඹීමෙන්   අනතුරුව එය රස විඳි අය සමඟ සිදු කරන වින්දනාත්මක කතා බහකුත් ඊට එකතු කරනවා. මේ හැම දෙයක්ම කරන්නෙ ගමේ පාසලේ රස වින්දනය වෙනුවෙන් ලංකාවෙ කලාකරුවෙක් ගෙන්වා ගැනීමට තරම් වත්කමක් මේ ඉස්කෝලෙවත්, දරුදැරියන් සතුවත් නැති කමට.

ඒත්, මීට වසර කිපයකට කලින් ගමක පාසලක රසවින්දන වැඩසටහන් වෙනුවෙන්  ගායක ගායිකාවන්, නළු නිළියන්, වැනි කලාකරුවන් කිසිඳු ලාභාපේක්ෂාවකින් තොරවම ඔවුන්ගේ අතින් වියදම් කරගන මෙ වැනි වැඩසටහන්වලට සහභාගී වුණා. ඒත් අද වන විට මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ගම්බද පාසලක දරුවන් ලංකාවෙ කලාකරුවන් එක්ක වචනවක් දෙකක් කතාබහ කරන්න, තමන්ගෙ පාසලට පැමිණෙනවා දකින්න ගැමියන් වගේම ඒ දරු දැරියනුත් දක්වන්නෙ මහත් ආශාවක්. ඒ අද ඒ සියල්ල මුදල් මත තීරණය වෙන  යුගයකට කලාව රූපාන්තරණය වෙලා.   

වර්තමානයේ  ප්‍රවීන, ප්‍රබුද්ධ ගණයේ ළා සැළකෙන සංගීත ශිල්පියෙකු හෝ ශිල්පිණියක මෙවැනි වැඩසටහනකට සහභාගී විමට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස් දහස දක්වා මුදලක් අයකරන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි. 

එහෙම වටපිටාවක් නිර්මාණය වුණේ පසුගිය කාලයේ සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලින් බිහි වූ ගායක ගායිකාවන් එවැනි වැඩසටහනකට, උත්සවයකට, ප්‍රසංගයකට සහභාගිවෙන්න අය කළ මුදල රුපියල් ලක්ෂයකට වඩා විශාල ගණනක් වුවත්  ඇතැම් පාසල් එවැනි විශාල මුදලක් ගෙවා ඔවුන්ගේ සහභාගීත්වය ඒ පාසල්වල වැඩසටහන් වලට ලබා ගැනිම සුලබ දසුනක් වුණා. ඒ  නිසා, එතෙක් කල් සමාජ මෙහෙවරක් වෙනුවෙන් කැපවූ කලාකරුවන් ඒ කැප කිරීම්  අතහැර දැමුවා. අද ඔවුන්ගෙ මතය වෙන්නෙ “සුපර්ස්ටාර්ස්ලට එතරම් මුදලක් ගෙවන්න පාසල්වල සංවිධායකයන්ට හැකි නම් එතරම්  කැපවීමක් කරපු ඔවුන් අතින් වියදම් කරගෙන ඇයි ඒවාට සහභාගි වෙන්නේ ” කියන කාරණයයි.
 
යසනාත් රසවින්දන වැඩසටහනක් ඉදිරිපත් කරමින්
ඒ හේතුවෙන් තමයි තුසිත කුමාර වැනි සහෘදයන්ට උනන්දුව තිබුණත් දුෂ්කර ප්‍රදේශවල ඔවුන් සේවය කරන පාසලකට කලාකරුවකු ගෙන්වා ගැනිමට හැකියාවක් නැත්තෙ. ඒ අරමුණ වෙනත් ආකාරයකින් මුදුන් පමුණුවාගන්න ඔවුන් නූතන තාක්ෂණය යොදා ගන්නට ඔවුන්ට සිදුවන්නේ ඒ නිසා. ඒ කොහොම වුණත් දැනට රජරට සිටින ප්‍රවින ගීත රචක වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර ඇතුළු කලාකරුවන්ගේ සෙනේබර නොමඳ දායකත්වය  විටින් විට අංගමුව මහා විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල්වලට ලබා දෙනවා. ඒ ඔවුන්ගේ හදවත් තවමත් මුදලට වඩා වටින නිසා.

ඒත් සතුටින්
කොහොම වුනත් අංගමුව මහා විද්‍යාලයේ මේ මාසික වැඩසටහන පටන් ගත්තේ 2012 වර්ෂයේ දී ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියාණන් තම අවසන් ප්‍රසංගය ලුම්බිණී රඟහලේදී ඉදිරිපත් කිරීමට සමාන්තරව එතුමන් ද දැනුවත් කිරීමෙන් පසුව එම වේලාවටම අංගමුව යාය 06 මහා විද්‍යාලයේදී “ස” ප්‍රසංගයේ වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීමෙන්. එය නැරඹූ පසු එයට සම්බන්ධ වූ බහුතරයකගේ ඉල්ලීම අනුවත්, ඔවුන්ගේ  සැළැස්ම අනුවත් එය මාසිකව පවත්වාගෙන යනු ලබන නිර්මාණ රස වින්දන වැඩසටහනක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා. තුසිත ඇතුළු සහෘද පිරිස  මෙම වැඩසටහන් කරන්නේ කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.  ප්‍රදේශයේ ගැමි ජනතාවගේත් පාසලේ දරු දැරියන්ගේත් උසස්  රස වින්දනය වැඩි දියුණු කිරීමේ අරමුණින් සම්පූර්ණයෙන් ම නොමිලේ. මේ විදියට පසු ගිය කාලයේ  මාසිකව කළ වැඩසටහන් අතර නන්දා මාලනියගේ “ස්වේත රාත්‍රිය” වගේම  පසුගිය මාසයේ  යානි ක්‍රිසෝමාලීස් සංගීතවේදියාගේ ප්‍රසංගයක විඩීයෝ දර්ශනය ඒ  රසිකයන් සමඟ බෙදා ගත්තා. අද ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනය වෙනුවෙන් ඒ පාසලේ “ජුරාසික් පාක්” චිත්‍රපටය පෙන්නුවා. මෙතෙක් කල් පැවති ඒ වැඩසටහන්වලට  අනුරාධපුර නගරයේ සිටත්, වවුනියාව වැනි දුර බැහැර  සිටත් රසිකයන් පැමිණීම  මේ පාසලේ පැවැත්වෙන රස වින්දන වැඩසටහනේ සාර්ථකත්වයේ සතුටට කරුණක් .

ඒ විදියට අංගමුව යාය 06 මහා විද්‍යාලයේ ඉදිරි මාසික රසවින්දන වැඩසටහන් සඳහා තුසිත කුමාර සහෘදයා ප්‍රමුඛ විද්‍යාලයේ කලා සංගමයේ  රසවතුන්ට යහපත්, ඉහළ ගුණාත්මක  බවින් යුත් නිර්මාණ වල හිඟකමක් වගේම අවශ්‍යතාවයක්  මේ වන විට මතුව තියෙනවා. ඒ නිසා මෙහි පහත දැක්වෙන වැඩසටහන් වල ගුණාත්මක බවින් හොඳ මට්ටමේ ඩීවිඩී හෝ වීසිඩි තැටි හෝ පටිගත කරගත් දර්ශන එකක් හෝ කීපයක්  ඔබ සතු වේ නම්, විශේෂයෙන් අංගමවු වැනි ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල වෙසෙන මේ දරුදැරියන්ගේ රසවින්දනය යහපත් දිශාවකට යොමු කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාවට නංවන මෙම කාර්යය සඳහා ලබා දෙන ලෙස තමයි ඔවුන්ගේ ඉල්ලිම වන්නේ.

දැනට අවශ්‍යව තිබෙන්නේ මෙන්න මේ මතු දැක්වෙන නිර්මාණ. මේ  ඇතැම් නිර්මාණ මීට පෙර ඩීවිඩි තාක්ෂණයෙන් ජාතික රූපවාහිනිය ඇතුළු ඒ ඒ ආයතන විසින් වෙළඳ පොලට නිකුත් කළා. නමුත් දැන් ඒවා නැවත නිෂ්පාදනයක් වන්නේ නෑ.

රත්න ශ්‍රී විජේසිංහ නිර්මාණවේදියාණන්ගේ 60 වසරක කලා දිවිය සැමරුම උල්පත පාමුලවැඩසටහන.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හිමව් අරණ, අමරසර ඇතුළු වෙනත් සංගීත වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)

විශාරද නන්දා මාලිනියගේ ඈත කඳු යායේ“ , “නඳුන් උයන“අඬහැරය”   ඇතුළු    වෙනත් සංගීත වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)

විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියාණන්ගේ කම්පනප්‍රසංගය.

ටී.එම් ජයරත්න, කසුන් කල්හාර, අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද,
   සුනිල් එදිරිසිංහ

  වැනි ශිල්පීන් ඉදිරිපත් කළ සංගීතමය වැඩසටහන්

සුරම්‍ය රාත්‍රී වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)
 
සංහිඳ වැඩසටහන්.  පෙදෙහි රසහව් වැඩසටහන්. 

තනි තරුව වැඩසටහන්.    (ITN)

උසස්  රස වින්දනය උදෙසා මෙම රසිකයන්  සමඟ බෙදා හදා ගැනීමට උචිත යැයි ඔබ විශ්වාස කරන එවන් දේශීය මෙන් ම, විදේශීය වශයෙන් නිර්මාණය වූ චිත්‍රපට, සංගීත වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, රූපවාහිනියෙන් විකාශය වන විට ඔබ විසින් පටිගත කරගත් විවිධ විචිත්‍ර සංගිතමය වැඩසටහන්  හා වේදිකා නාට්‍ය ආදිය ඔබ සතුව ඇත්නම් ඒ අගනා නිර්මාණ මේ රසවින්දන වැඩසටහනට ලබා දෙන්න පුළුවන්.

ඔබ සතුව එවැනි නිර්මාණයක් ඇත්නම් ඔබ විසින් දෙනු ලබන ඒ නිර්මාණය ඒ රස වින්දන වැඩසටහනට පමණක් භාවිතා කර එලෙසින්ම වගකීමෙන් යුතුව සුරක්ෂිතව ඔබ අතටම නැවත එය ලැබෙන්න සලස්වන්න අප සූදානම්.

ඔබ සතුව එවන් රසවින්දනාත්මක නිර්මාණයක් හෝ නිර්මාණ එකතුවක් ඇත්නම් මා අමතන්න. එවිට මම ඒ අවශ්‍ය සම්බන්ධීකරණය නියමාකාරයෙන් කර දෙන්නම්


දුරකථනයෙන් අමතනවා නම් -
 0714 394215 (තුසිත කුමාර- අංගමුව මහා විද්‍යාලය)

පාසලේ ලිපිනය
කලා සංගමය

අ/අංගමුව යාය 06 මහා විද්‍යාලය

යාය 06,

අංගමුව.


Related Posts Plugin for WordPress, Blogger...