එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 15 February 2013

෴ විජය ගැයූ නෙළා නොගත් ප්‍රේමයේ ගී අස්වැන්න... ෴




විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදී කලාකරුවා, දේශපාලඥයා සමු අරන් පෙබරවාරි මාසෙ 16 වනදාට හරියටම අවුරුදු 25ක්. අවුරුද්දකට එක වතාවක් හෝ මා ආදරය කරන ගෞරව කරන මෙවැනි සොඳුරු මිනිසුන්  ගැන මතකය අවදි කිරිමත් එක්තරා ආකාරයක සතුටක්.  ඒ අනෙකක් නිසා නොව මේ රටේ  ජනතාවගේ රසිකත්වය උසස් තලයකට ගේන්න ජීවිත කාලයම කැප කරපු කලාකරුවන් වන නිසා.  මෙවන් මිනිසුන්  ජීවිතයෙන් සමුගෙන බොහෝ කල් ගියත් හැම විටම දැනෙන්නෙ  මේ දැන් හිටියා වගේ උණුසම් හැඟීමක්.  මෙවන් කලාකරුවන්  මේ රටේ කලාව  සහ ජනතාව වෙනුවෙන් සදා අනුස්මරණීය සේවයක් ඉටු කර ඇති  නිසා මෙවන් සොඳුරු මිනිසුන් ගැන නැවත නැවතත් අතීතාවර්ජනයක් කිරීම අපේ  යුතුකමක් කියලයි මට හිතතෙන්නෙ.

ඒ නිසා නිරන්තරයෙන් මා ආදරය කරන මගේ හිතට වඩාත් සමිපව දැනුන මේ සොඳුරු රංගන ශිල්පියා, ගායන ශිල්පියා, දේශපාලඥයා. එහෙමත් නැත්නම් කලාතුරකින් හමුවන මානව හිතවාදී කලාකරුවකු වශයෙන් විජය කුමාරතුංගයන් වෙනුවෙන් අද අස්වැන්න සටහන් කරනව. ඒ ටිකක් සුවිශේෂ ආකරයෙන්. සාමාන්‍යයෙන් විජය ගැන වැඩිපුරම කතාබහට ලක් වෙන්නෙ ඔහුගේ දේශපාලන දර්ශනය සහ රංගනය ගැන වුවත් ඔහුගෙ ගායනය  ගැන ඉතාමත් අඩුවෙන්ම කතා කරන නිසා මා ඔහුගෙ ගායනය ගැන පමණක් සඳහන් කරන්නම්.

එක එක යුගවල විසු කලාකරුවන් අතර අපූර්ව නිර්මාණාත්මක සබඳතා හමුවෙනව.  එවන් විරල අවස්ථාවක විජයගේ ගී හඬ කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවුණ ආකාරය ගැන කතා කරන්න මම තෝරාගත්තෙ කේමදාසයන්ගෙ සංගීතයට විජය ගැයූ එහෙත් ජනප්‍රිය නොවූ,  මතකයෙන් බැහැර වූ මනරම් ප්‍රේම ගීත කීපයක්.  මේ ගිත ඔබ අහන මුල් වතාව වෙන්නත් පුළුවන්.  ඇතැම් විට මේ ගී ඇසූ පසුව ඇයි මේ ගී ගීත සාහිතයයෙන් බැහැර වුණේ  කියල නැවත් හිතන්නත් පුළුවන්. ඒ වගේම මේ ගීත අසුවාම විජය - කේමදස සංගීත සුසංයෝගයක් තිබුණද කියල ඔබට හිතෙන්න පුලුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් නොදන්නා එවැනි සුසංයෝගයක ගී මිහිරත් එක්කම අපි ඒ ගැන ටිකක් කතා කරමු.

විජය කුමාරතුංග - ප්‍රේමසිරි කේමදාස සංගීතමය සබඳතාවය අපේ සිංහල ගීත සාහිත්‍යයේ හමුවන මහා සංගීතමය සුසංයෝග තරම් ගැඹුරට විහිදුන එකක් නොවුනත්, ඒ හරහා බිහිවු ගීත, ලාංකේය ගීත සාහිත්‍යයට සදාකාලික සුන්දරත්වයක් එකතු කරල තියෙනව. ඒත් ඒ ගීත  කිපය පවා නියමාකාරයෙන් ගීත රසිකයන් අතරට ගියේ නැහැ.  ප්‍රමාණාත්මකව බලන විට විජය - කේමදාස සුසංයෝගයෙන් බිහිවූ   ගීත සංඛ්‍යාව  20 හෝ 25 ක් .  එය මෙ තරම් සුලු සංඛ්‍යාවක් වුවත්,  මේ අපූර්ව දුර්ලභ  සුසංයෝගය තුළින් බිහිවූ ගීත නිර්මාණ අපේ ගීත ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක මියුරු ඵලයන් ය.  මේ ගීතවලින් ඇතැම් ගීත පළමු පටිගත කිරීමෙන් ම අවසන් වූ බවක් දකින්නට ඇති නිසා ඒවා විවවේක බුද්ධියෙන් රසවිඳිය යුතු ගීත කියලයි හිතෙන්නෙ. ඒ වුණත් මේවා නූතන පරපුරට රස විඳින්නට  කිසිඳු සංරක්ෂණය කිරීමක් සිදුවී නැහැ. අනෙක් අතට මේ ඇතැම් ගීත ලියූවෝ කවරහුද යන්න පවා මේ වන විට සොයාගත නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. අපට හඳුනා ගත හැකි එකම සාධකය වන්නේ කේමදාසයන්ගේ සංගීතයත්, විජයගේ ගී හඬත්  පමණි.
 
නිදසුනක් ලෙස කේමදාසයන්ගේ සංගිතයට විජය කුමාරතුංගයන් ගැයූ "රාංකුරුලු වෙස් අරගෙන" ගිතය ගත හැකිය. මේ ගීතය පදමාලාවෙන් වගේම සංගීතයෙන්ද  පිරිපුන් ගිතයක්. විජගේ ප්‍රතාපවත් රංගන ශෛලිය පමණක් නෙව ඔහුගේ මන බඳින රූපකාය මොහොතකට අමතක කළොත්,  ඔහුගේ මේ ගායනයත් ගීතයට එකතු කරන්නෙ අපූර්ව ප්‍රේමනීය සුන්දර අත්දැකිමක්.  ඊටම ගැලපෙන්න නීලාගේ මියුරු ගායනයත් ගීතය පුරා විහිදුවමින් ප්‍රේමණිය හැඟීම් සමුදායක් අපේ සිතුවිලි වලට යා කරනව.

                   රාං කුරුළු වෙස් අරගෙන
                   රූං කියා ඉගිලෙන්නට
                   සීන් සිනිදු පියාපතක්
                   නුඹටයි මටයි ලැබේවි
                   නුඹටයි මටයි ලැබේවි

                   අහස් තලා නව නිල්ලේ
                   සිහිල් රැයේ සඳ ඇල්ලේ
                   රිදීවලා දෝලාවේ
                   මේ මන්ද මාරුතේ
                   රෑ යාමේ හමුවෙමු දෝ
                   ළංවී අපී..

                   සාගරයේ රළ රැල්ලේ
                   පබළු ලතා මුතු ලැල්ලේ
                   තරංගයේ නෞකාවේ
                   මේ සිහින මාවතේ
                   රෑ යාමේ හමුවෙමු දෝ
                   ළංවී අපී..

ගේය පද:  ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග නීලා වික්‍රමසිංහ
 
රාං කුරුළු වෙස් අරගෙන” ගීතය  මෙතනින් අහන්න
                  

විජයගේ නම කී පමණින් මැවෙන්නේ ඔහුගේ අතිවිශිෂ්ට රංගනයේ ප්‍රතිභාවයි. සිනමාවේ අග්‍රගණ්‍ය ප්‍රේමවන්තයාගේ රංගනය හමුවේ ඔහුගේ ගායනය පිළිබඳ ඉඟියක් පවා අපට නොදැනේ.  එමෙන් ම ඔහුගේ  දේශපාලන භූමිකාව සිහියට නො ඒ.  එහෙත් කලාකරුවකු සතු හැකියාවන්  කිසියම් ක්ෂේත්‍රයකට පමණක් සිමා කිරිම සාධාරණ නොවේ.  මෙවැනි වූ විවිධ ක්ෂේත්‍රයන් ස්පර්ශ කළා වු පොදු ජන හදවත් දිනාගත් ආදරණීය මිනිසකුගේ හැසිරීම කලාව කලාවක් වශයෙන් ඔසවා තබන්නට හේතු වූවා විනා ඒ ගැන බුද්ධිමය සංවාදයකට ලක් කළ හැක්කේ එහි අන්තරගතය බුද්ධිමත්ව විමසා බැලීමෙනි. එසේ නොමැතිව විජය කුමාරතංගයන්ගේ කලාත්මන මිනිස් හදවත හඳුනාගැනිමට පුලුවන් කමක් නැත.

1969 වර්ෂයේදී තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් විජය එක රැයින්ම සිනමා තරුවක් බවට පත්වූවත්, ඔහුගේ ගායනය පිලිබඳ හැකියවන් දර්ශනය වන්නට පටන්ගන්නේ 1978 / 79 කාලයේ දී සිටය. ඒ මෙරට කැසට් පට නිෂ්පාදන ක්‍රියවලිය බිහි වූවාට පසුවය.
 
ඇතැම් විට විජයගේ සිනමා ගමන් මග තහවුරු කර ගැනීම  ඔහුට දුෂ්කර කාර්යයක් වූවා සේම ඔහුට සිය සංගීතමය ගමන් මග තහවුරු කර ගන්නට අපහසු වූයේ එවකට මෙරට පැවතියේ ආණ්ඩුවේ ගුවන්විදුලිය සහ රූපවාහිනී චැනල් දෙකක් පමණක් විම ය.  ඒවා සියල්ල එවකට පැවති ආණ්ඩුවේ අධිකාරී බලයට හා පාලනයට යටත්විමත් හේතුවෙන් විජයගේ ගායනයට දොරගුළු වැටුණි.  මාධ්‍ය නොමැතිව ගායන ශිල්පියකුට නැගි සිටිය නොහැකිය. එසේ තනිවම නැගී සිටින්නට නම් ජනතාව අතරට ගොස් ගායනයෙන් තම හැඟීම් අවදි කල යුතුය. ඒ නිසා විජය දේශපාලඥයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙසින් ජනතාව අතර රැඳුණත් ඔහුට ගායන ශිල්පියෙකු ලෙස ඒ මග ගමන් කරන්නට නොහැකි විය.

ඒ නිසාම විජයගේ ගී හඬ අපට ළගා වූයේ  ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නොව කැසට් පට හරහාය.  ඒ නිසා ඔහුගේ රසිකයන් සිතූයේ විජය රංගනයෙන් ඇති කරගත් ජනප්‍රියත්වය හරහා ගායකයකු ලෙසින්ද ස්ථාවරයක් ගොඩ නගන්නට උත්සාහ ගන්නා බව ය. ඊට ආසන්නම හේතුව වන්නේ එවකට එච්.ආර්.ජෝතිපාල, ජේ.ඒ මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, සහ නිහාල් නෙල්සන් වැනි ශිල්පින් ජනප්‍රිය සංගීතයේ බැබලෙමින් සිටි නිසා ඒ ඇසුරේ හැදී වැඩෙන්නට  සිනමාවේ ජනප්‍රිය තරුව ලෙස විජය ගයනයට ප්‍රවේශ වූ බවට මතයක්  රසිකයන් තුල මුල් බැස ගෙන  තිබුණි.

විජය සතුව තිබුණේ සංගීතයේ දුර්ලභ ගැඹුරු ගී හඬකි. එය බෙහෙවින්ම ජෝතිපාලගේ ගැඹුරු ගී ස්වරය තරම් එකක් විය.. ඊට හොඳම නිදමසුනක් ලෙස මතු දැක්වෙන ගීතයේ ඔහු විසින් හඬ පාලනය කරගන්නා හැටි කදිමය. විශාල පරාසයක පැතිරීයන ගී හඬක් කේමදාසයන්ගේ සංගීතයට වෙඬරු පිඩක් සේ එක මිටකට මුසුකර ඇති විජයගේ රංගනය සියල්ලන්ටම අමතක කරවමිනි.

                   හද අරණේ වියෝ ගිනි උසුලා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා

                   සිතුවිලි බිඳු බිඳු දෝතින් කැටිකර
                   ඔබ පාමුල පූජාසනයේ
                   ජීවිතයෙන් පිදු ජීවිතයක් බඳු
                   ආදරයක් අහිමි වූදා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා

                   දෑසට නොකියන සිතුවිලි කඳුළක
                   පිළි රූ ඔබෙ මා හා ගැවසේ
                   කාලය ගෙවුනද මතකින් නොමියන
                   පෙම් සුවඳක් අහිමි වූදා
                   ඔබ අසරණ කළ අසරණයෙකු හට
                   ජීවත්වන්ට කියා දෙන්න මට
                   මිනිස් සිතින්
                   වියෝ ගිනි උසුලා


සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග
 
හද අරණේ වියෝ ගිනි” ගීතය  මෙතනින් අහන්න
               

විජය කුමාරතුංගයන්ගේ ගායනය ගායන මග වසර  8ක් 9ක් වැනි කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුල ඔහු විසින් ගීත 100 - 150 ක් පමණ ගායනා කර තිබේ. මේ සියළුම ගිත සාර්ථක නිර්මාණයන් නොවේ. එහෙත් ඒ ගීත සංඛ්‍යාව අතර අති විශිෂ්ඨ ගීත රැසක්ම තිබේ.

එසේ වුවද ඔහුගේ ගායන ප්‍රවේශය සංගීතයේ අලුත් ඉසව්වක් කරා යොමු කළේය.  70 දශකයේ ඇරඹි විරෝධාකල්ප ගීත සාහිත්‍යය හැදි වැඩුණේ  වාමාංශික දේශපාලන ඇකයේ විමත්, එකල බිහිව තිබු ජනතා විමුක්ති පෙරමුණේ  විමුක්ති ගී ප්‍රසංගයත්, ගුණදාස කපුගේ වැනි ශිල්පීන්ගේ කලාත්මක දේශපාලන දර්ශනයත්, සෘජුවම රසික මනසට කළ ආමන්ත්‍රණය  කළ බැවින් විජය තම දේශපාලන දර්ශනය සඳහා සෘජුවම විරෝධාකල්ප ගීත උපයෝගී කරගත්තේය. මුල්වරට "වේදනා” නමින් විරෝධාකල්ප ගීත එකතුවක් කැසට් පටයක් ලෙස එලි දක්වන්නේ ඒ නිසාය.  
 
එසේ ජවයක් සහිතව ගොඩනැගෙන විජයගේ ගී හඬ සහ ඔහුගේ ඇතැම් ගීත සංගීත නිර්මාණකරුවන්ගේ  නොසැලකිල්ල සහ  නිසි අයුරින් වටහා නෙගැනිමත් හේතුවෙන් අසාර්ථක නිර්මාණ ඔහුගෙන් බිහිවිය. ගුණදාස කපුගේ, සරත් දසනායක, රෝහණ වීරසිංහ, වැනි සංගීතඥයන් විසින් විජයගේ ගායන පරාසයේ ප්‍රමාණය මැනැවින් හඳුනාගෙන ගී තනු නිර්මාණය කළහ.  එහෙත් සංගීතය හදාරා නොමැති සහජ දක්ෂතාවයක් ඇති ගායන ශිල්පියෙකුගේ ගායනය පරාසය තුල විජයගේ ගී හඬ භාවිතයට ගත හැකි ආකාරය වඩාත් නිවැරදිව කේමදාසයන් වටහාගත් බව විජයගේ  ගි නිර්මාණ සියල්ලෙන් කේමදාසයන්ගේ ගීත වෙන්කර බැලීමේදි වටහා ගත හැකිය.

එහෙත් විජය කුමාරතුංගයන්ට ‍කේමදායන් හැදූ ගීත ජනප්‍රිය නොවිමත්, විජයගේ ගී හඬ ඔහුගේ රංගනය තරම් ඉස්මතු නොවිමටත් හේතු වූයේ ඔහුගේ රංගන ප්‍රතිභාව රසික හදවත්වල මුල් බැසගෙන තිබීම ය. කේමදාසයන් විජය ගායන පසුබිම් ගායන ශිල්පියෙකු ලෙසින් “පාර දිගේ”චිත්‍රපටයට ද දායක කරගත්තේ එවන් පසුබිමක් යටතේ ය. ඒ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගායනය කරවීමෙනි.  ඒ 1980 වර්ෂයේ දිය.  

විජය - කේමදාස සංයෝගය සංගීතයේ කෙටි සළකුණක් වුවත් එය ලාංකේය ගීත සාහිත්‍යයේ ඉතා කුඩා වැදගත් සම්බන්ධතාවයකි. එකිනෙකට වෙනස් හැඩයෙන් සහ රිද්මයෙන් යුතු ගීත නිර්මාණය කරමින් විජය ගායකයකු ලෙස  මෙරට රසිකයන්ට හඳුන්වා දිමට  කේමදාසයන් මහත් උත්සාහයක් දරා ඇත.  කේමදාසය අතින් හැඩ වූ විජය ගැයු ගීත අතර දිනකර පායා, පුතණු කෙනෙකුන් , කඳුළු බොඳවූ, උණුසුම් සුසමක්, නැගෙන හිරුට පිටුපා සහ වැව් දියේ රැළි ඊට හොඳම නිදසුන් ය.  කේමදාසයන් හැදූ විජයගේ ඇතැම් ගීතවල ගායන සහය සඳහා නීලා වික්‍රමසිංහ සහ මාලනී බුලත්සිංහල භාවිතා කිරීමද ඒ ගීතවල රසය නුසුන් වීමට ඉවහල් වී ඇත. ඊට හොඳම නිදසුනක් ලෙස විජය ගැයූ මතු දැක්වෙන ගීතය ගත හැකිය.  විජය ගී ගායනයේදී කොතරම් දක්ෂ ලෙස හඬ පාලනය කරමින් ගීතය ගායනා කර ඇත්තේද යන්න විමසන්නට මේ ගීයම ප්‍රමාණවත්ය.

ඉහළ බලන් කළ වරදට ඉකිබිඳ
වැළපෙන ඛලුවර අහස මමයි
 
පහළ බලන් සීතට පා තැවරෙන
තණ නිල්ලේ පිණි කඳුළ මමයි

 
ඈත බලන් හද තරහ නිවන්නට
නිදියන සීතල සුළඟ මමයි
 
හැරී බලන් නුඹෙ දෙපා යදින්නට
බිම ඇදෙනා සෙවනැල්ල මමයි

 
දසත බලන් නුඹෙ සවනට කොඳුරන
වැළපෙන දුක්මුසු ගීය මමයි
 
මදෙස බලන් ඒ ගීයට ගීයක්
ගයමින් සැනසෙන කුසුම මමයි

සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
 
ඉහළ බලන්” ගීතය  මෙතනින් අහන්න
                 

කේමදාසයන් විසින් විජයට නිර්මාණය කළ මෙවන්  ගී ඇසූ විට හැ‍ඟෙන්නේ ඔහුගේ ගායනයෙන් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කේමදාසයන්  තුළ තිබු බවයි.
කෙටි කලක් ඇතුළත විජය ගැයූ ගීත ප්‍රමාණය විශාළ සංඛ්‍යාවකි.  එසේ වුවත් ඒ සියලු ගීත ජනතාව අතරට ගියේ නැත.  විජයගේ ගායනට වැට බැන්දේ ඒ ගීත ගුවන් විදුලියෙන් සහ  රූපවාහිනියෙන්  ප්‍රචාරය විම වැළැක්විමෙනි.  ඒවන විට ගායකයෙකු ලෙස නැගී සිටන්නට නම් මෙරට තිබූ ආණ්ඩුවේ එකම ගුවන් විදුලි නාලිකාවත්, රූපවාහිනී නාලිකා දෙකෙත් සහයෝගය අත්‍යවශ්‍ය සාධකයක් වූ  නිසා විජයට සිදු වූයේ එකල පැවති රජයේ මාධ්‍යයන්ට අභියෝග කරමින්  කැසට් පට මගින් තම සංගීත ගමන් මග සකස් කර ගන්නටය.

අනෙක් අතට ඒවන විට විජය කැසට් පට මගින් තම ගී නිර්මාණ  රසිකයන් අතරට ගෙන ගියද ඒ බොහෝ ගිත වැලඳ ගත්තේ සිමිත රසිකයන් පිරිසක් පමණිඑහෙත් නිර්මාණකරුවකු ලෙසින් ඔහු මියයන විට චිත්‍රපට පසුබිම් ගීත ගණනාවක් ගයන්නට  තරම් සංගීතමය හඬ පෞරුෂයක් ගොඩනගා ගැනිමට හැකි වූයේ කේමදාසයන් ඇසුරේ ඔහු ගායනයෙන් ලැබූ පන්නරයයි.

හමුවේවිද අප ආයේ සුරතින් සුරත බැඳී
අහස මුහදේ ගැටෙන සිතිජයෙ වේදෝ
ඔබ හා මා
ජාති ජාතිත් සංසාරේ

දැවෙන හිතට එක කදුළක්
නුඹේ ඇසින් වැටුණු දිනේ
හිතට දැනුණ තෙතමනයෙන්
මට දැනුණා නුඹේ සෙනේ

නුඹ වෙනුවෙන්  වැලපීලා
මගේ කඳුළු ගඟ සිඳිලා
නුඹේ කඳුළු මට දීලා
නුඔ නාඩන් සොඳුරු ළ‍ඳේ

සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:  විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
 
ඉහළ බලන්” ගීතය  මෙතනින් අහන්න
                

ඒ නිසා අද විජය ගැන බොහෝ දෙනෙක්  කතාකරන්නේ ඔහුගේ රංගනයේ ප්‍රතිභාව ගැන හෝ දේශපාලයෙන් ගොඩනගා ගත් චරිතය ගැන වුවත්, විසිපස් වසරකට පසුව හෝ ඔහුගේ ගායන ශිල්පියෙකු ලෙසින් දැක් වූ දක්ෂතාවය පිලිබඳව නැවත සිතා බැලිය යුතු යැයි හැ‍ඟේ.෴



 මෙහි ඇතුළත් සියළු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද ඒවාය.
වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

Saturday 9 February 2013

෴ ලෝකය ආදරෙන් හදමු... ෴




පසුගිය සති කිපයේ දරුවන් සම්බන්ධයෙන් අපට අසන්නට ලැබුණේ හිතකර පුවත් නොවේ. වසර ආරම්භයේදීම සවුදි අරාබියේදි නොකළ වරදකට රිසානා සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා ය. ගෙවුණු සතියේදී ඊළඟ හද සසල කරන පුවත් කීපය එක පිට එක වාර්තා වූයේ ලංකාවේ සිවු දෙසිනි.

ඒ එක පුවතකින් කියවුණේ 13 හැවිරිදි පාසල් දැරියක් පාසලේ පන්ති කාමරයේ තීන්ත ආලේප කිරිමට රුපියල් 800.00 ක ලබා දිමට වත්කමක් දෙමාපියන්ට නොතිබූ  නිසා අසල වූ වත්තකින් රුපියල් 320.00 කි වටිනා පොල් ගෙඩි 08 අහුලා ගැනිම හේතුවෙන් සොරකම් කිරීමේ වරදට හසුව අධිකරණයෙන් දඬුවම් පැමිණ වූ බවය. බාලයෙකු වුවද   අන්සතු දෙයක් නොදන්වා ගත්තත් වරද වරදම ය.

ඊළඟ පුවත වූයේ උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන විට එක දියණියක  සිය පවුලේ අගහිඟකම් පිරිමහ ගනු වස්  අධ්‍යාපන කටයුතු වලට සමුදී නගරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය ගොස් ඇති බවකි.

අනෙක් පුවත වූයේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා තමන්ගේ කායික මනදොල සපුරාගනු වස් බිලිගත් දැරිය ගමටත් සමාජයටත් මුහුණු දීගත නොහැකිව වස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවය.

පුදුම සහගත කාරණය වන්නේ මේ සියල්ලම සිදු වූයේ උදේ හවස තුන් තිස් පැයේ බණ කියන, බණ අහන මේ ධර්මද්වීපය තුළදී වීම ය.

මෙහි වරද සිදු වූයේ කොතැනද, වැරදි කරුවන් කවුරුද යන්න සෙවිමට උත්සාහ නොකරමි. එසේ වුවත් මේ සිදුවෙමින් පවතින්නේ ව්‍යසනයක මූලාරම්භය බව නොකියා සිටිය නොහැක. මෙය ලාංකිය ජන සමාජයේ දරුණු බිඳ වැටිමක පෙර නිමිතිය. අපේ මිනිසුන්ගේ චින්තනය සෝදා පාලුවට ලක්ව ඇති බවට දෑස් ඉදිරියෙම පෙනෙන්නට ඇති සංකේතාත්මක අනතුරු හැඟවීම් ය.

මේ ටිකත් සටහන් කරන්නට සිදු වූයේ  අද අස්වැන්නට මීට කලකට ඉහත දි මා ලියු ළමා ගීයක් මෙහි සටහන් කරන්නට සිත් වූ නිසා ය. ඒ නිසා මෙතැන් සිට මේ ගීතය බිහිවු අයුරු ඔබට කියමි.

මිට වරස කීපයකට කලින් ලංකාවේ රූපවාහිනී නාලිකාවල සුපිරි තරු තෝරන වැඩසටහන් බිහිවෙමින් තිබුණි. ඒ  අවධියේ ජාතික රූපවාහිනිය මගින් ගායන දක්ෂතා ඇති දැයේ දූදරුවන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමේ සංගීතමය ළමා වැඩසටහනක් ආරම්භ කර තිබුණි. ඒ ළමා සංගීත වැඩසටහනේ ගීත ගැයිමට වරම් ලද්දේ වයස අවුරුදු 12 අඩු දූදරුවන් ය.  එසේම කිසිඳු අවස්ථාවක එම වැඩසටහනෙන් වෙනත් ශිල්පියෙකු හෝ ශිල්පිණියක ගැයූ ගීත ගැයිමට නොහැකි විය. වැඩසටහනට ඉදිරිපත්වන ළමුන් ගායනා කළ යුතුව තිබුනේ ස්වතන්ත්‍ර නිර්මාණයන් ය.

ඒ අනුව මට එ දවස්වල එක දිගටම ළමා ගීත ලියන්නට සිදුව තිබුණි. ගීතයක් ලියවා ගැනීමට දුර බැහැර සිට දූ දරුවන් කැටුව දෙමව් පියන්  මා සොයා පැමිණියහ. ඒ අනුව මේ ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහන සඳහා ගීත 12 පමණ මවිසින් රචනා කළෙමි. එයින් ගීත 10ක්ම සංගීතවත් කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසිනි. ඉතිරි ගීත දෙක සංගීතවේදී නවරත්න ගමගේ විසින් නිර්මාණය කළ බව මතකය.

එසේ මා ලියූ ළමා ගීත අතරින්  එඩ්වඩ් ජයකොඩි මහතා  සංගීතවත් කළ ගීත දෙකක් එකී තරගයේ අවසන් වටයට දක්වා පැමිණ තිබුණි. අද මා මෙහි සටහන් කරන්නේ එසේ අවසන් වටය නියෝජනය කළ  ඒ එක් ගීතයකි.

එසේ එ දවස එක්තරා දවස උදෑසන ගීතයක් ලියවා ගැනිමට හෝමාගම ප්‍රදේශයේ සිට මා සොයා පැමිණි තරුණ මව්පිය යුවලක් සහ කුඩා දියණියකි. එසේ පැමිණි ඔවුන් සමග ආ ගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර  ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳ විමසිමි.

“අපේ දුවට ළමා ගීතයක් ලියවා ගන්නයි අවේ” මව කීවාය.

“කවුද සංගීතය නිර්මාණය කරන්නේ” මම ඇසීමි.

“ඒ ගැන තවම හිතුවෙ නෑ  සර් දන්න කෙනෙක් ඉන්නවද?” මව මගෙන් ඇසුවාය.

ඒ වන විටත් මගේ ගීත කිපයක්ම ඒ රූපවාහිනි වැඩසටහනට එඩ්වඩ් ජයකොඩි මහතා විසින් සංගීතය නිර්මාණය කර තිබූ නිසාත්.  මේ තරුණ යුවල සිය දියණියද කැටුව පැමිණ සිටියේ ඒ තොරතුරු ඔස්සේ බවත් පැහැදිළි විය.

“ මේ ගීයටත් එඩ්වඩ් ජයකොඩි මහත්තයට කියල සංගීතය නිර්මාණය කරන්නද?” මම ඇසුවෙමි.

“කොච්චර ලොකු දෙයක්ද එහෙම කෙනෙකුට කියල කරගන්න පුළුවන්නම්” මව කීවාය.

ඒ මොහොතේ කුඩා දියණියගේත් දෙමව්පියන්ගේත් සිත් ඉපිල ගිය බවක් මට දැනුණි. එසේ බොහෝ වේලාවක් කතා බහේ නියැලෙමින් සිටියදී ඔවුන් ආපසු යන්නට සැරසුණි.

“සර් ගාන කීයද?”

ලිපි කවරයක් මිට මොළවාගත් මව හීන් සීරුවේ එසේ විමසුවේ හිතේ පිරුණු තැතිගැන්මකින් යුතුව ය.

“මොනවටද?”

“සර්ගේ මහන්සියට” ඇය ලිපි කවරය මා වෙත දිගු කළාය.

අද නූතන පරපුරේ ශිල්පීන් අතර ගීතය වෙළඳ භාණ්ඩයක් වුවත්, නිර්මාණයක් මුදලට තක්සේරු කිරීමේ පුරුද්දක් මා සතු නැති නිසා ඒ මුදල ප්‍රතික්ෂේප කළෙමි.

‘මට සල්ලි එපා මේ සල්ලි ටික තියාගෙන යන ගමන් දූට මොනව හරි අරන් දෙන්න මම සිංදුවක් ලියල දෙන්නම්”

එසේ එදා පොරොන්දු වූ පරිදිම දින කීපයකින් ගීතය ලියා එඩ්වඩ් අත තැබූයෙමි. අප දෙදෙනාම එක්ව ගීතයේ සංගීතය නිර්මාණය කල පසු ,  සති අන්ත නිවාඩු දිනයකදි  ඒ කුඩා දැරිය එඩ්ව‍ඩ්ගේ නුගේගොඩ පිහිටි නිවසට කැ‍ඳෙව්වෙමු.   කීපවිටක් ගීතය පුහුණු කළ පසුව ඇයට ඒ ගීතය පුහුණවන්නට පහසු වන සේ එඩ්වඩ්ගේ සංගීත කාමරයේ අසළ තිබු කැසට් රෙකෝඩරයකින් ගීතය පටිගත කර දුන්නේ කිසිඳු අයකිරීමක් හෝ ගාස්තුවකින් තොරවය. ඒ වැඩසටහනට කිසිඳු ළමා ගීයකට ඔහු මුදල් අය කළේ  නැත. ඔහු එදා මෙන්ම අදත් එවැනි දේ සඳහා මුදල් හඹා නොයන කලාකරුවෙක් බව දනිමි.


කෙසේ වුවත් ඒ දැරිය ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහනට ගීතය මනරම් අයුරින් ගායානා කළා ය. පියවරෙන් පියවර අවසන් තරඟකරුවන් දො‍ළොස්දෙනා අතරට පැමිණි ඇයට අවසන් තරගයට මුහුණ දෙන්නට සිදු වූයේ සජීවි ගායනයක් ඉදිරිපත් කරමිනි. තරගය පැවතියේ මරදාන ටවර රඟහලේ ය. මගේ ගීත දෙකක්ම අවසන් තරඟයට ඉදිරිපත්ව තිබූ නිසා මමද ඒ හැන්දෑවේ ටවර් රඟහලට ගොඩවූයේ ප්‍රසංගය නැරඹීමට මටද ආරාධනයක් ලැබ තිබුණ හෙයිනි.

අවසන් තරඟය විනිශ්චය කිරීමේ කාර්යය සඳහා ඇරයුම් ලැබ තිබුණේ විශාරද එඩ්වඩ් ජයකොඩි,  ජගත් වික්‍රමසිංහ සහ තවත් සංගීත ශිල්පිණියකට ය. තරගය පැවැත්වෙද්දී ‍මගේ ගීය ගැයිමට නියමිතව සිටි දැරියගේ වාරය උදා විය.  ඇය පාසල් යන දියණියක සේ සැරසී රංගනයක් ඉදිරිපත් කරමින්ම සිය ගායනයෙහි නිරත වෙමින් වේදිකාවේ සිටියාය. වේදිකාව අසල වූ තිරයේ ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහන සජීවිව විකාශය වෙමින් තිබුණි. වරින් වර වේදිකාව දෙසත්, තිරය දෙසත් මගේ විමසිල්ලත්, අවධානයත් යොමු වූයේ ගීතයක් විකාශය වන අතර තුර ගීතයේ නිර්මාණ කරුවන්ගේ නම් සඳහන් වූ නිසාය.

අවාසනාවකට මෙන් එකවරම ගීතයේ රචකයා ලෙස දිස් වූයේ “දයාරත්න  පෙරේරා” යනුවෙනි. මට උන්හිටි තැන් අමතක විය. නිර්මාණකරුවකුගේ නිර්මාණ අයිතිය සම්පූර්ණයෙන් අහිමි වි ඇත. කරන්නට කිසි දෙයක් නැත. සියල්ල සිදුවි හමාරය.

වැඩසටහන අවසානයේ ජයග්‍රාහි දරුවන් තිදෙනා අතරට එඩ්වඩ්ගේ සංගීතයෙන් හැඩවූ මගේ නිර්මාණ ඇතුළත්ව නොතිබුණි. එඩ්වඩ් ඒ විනිශ්චය මණ්ඩලයේ හිටියත් නිවැරදි මොහොතක නිවැරදි තීරණය ගනිමින් ඒ වැඩසටහනේ ‍දක්ෂතම දරුවන් තිදෙනා තෝරාගත්තේ කලා කරුවගේ තිබිය යුතු අව්‍යාජ බව නැවත තහවුරු කරමිනි.

තරගය අවසානයේ ජයග්‍රාහකයන්ට අමතරව ඊට සහභාගී වු සියලු දෙනාටම ත්‍යාග සහ සහතික පත් ලැබුණි. ඊට පසු දිනයේ දුරකථනයෙන් මම ඇයට සුබ පැතුවෙමි.  ඒ වන විටත් ඒ ගීතයේ ගීත රචකයාට අසාධාරණයක් සිදුව ඇති බවත් එය නිවැරදි කරන ලෙසත් එඩ්ඩඩ් වැඩසටහන් නිෂ්පාදකට කියා තිබුණි. කෙසේ වුවත් විකාශය වූ පසුව ඒ වැරැද්ද නිවැරදි කළ නොහැකි බැවින්, ළමා ගීත එකතුව එළි දක්වන මොහොතේ එය නිවැරදි කර තිබිම ගැන සතුටු වෙමි.

එසේම සිදුවූ වරද පිළිබඳව ගීතය ගැයු දැරියද ඇයගේ දෙමව්පියන්ටද දැනගන්නට ලැබුණ නිසා ඔවුන්ද අපහසු තාවට පත්ව සිටින බව දැනගත්තෙමි. ඉන් සති කිපයකට පසුව දැරියගේ පියා නැවත  දුරකතනයෙන් මා අමතා  සිදුවූ වරදට සමාව ඉල්ලා සිටියේය.

“එදා වැඩසටහනෙදි ගීතයේ විස්තර කියද්දි කලබලේට සර්ගෙ නම වැරදියට කියවිලා. ඒක තමයි ඒඅය දාලා තියෙන්නේ”


ඒ සිදුවි සති කීපයක් ඉක්ම ගොස් තිබු නිසා මගේ කේන්තියද පහව ගොස් තිබුණි. සජීවි තරගයකදී තරගකරුවන් වගේම ඊට අදාළ පුද්ගලයන්ගේද නොසන්සුන්කම නිසා එය සිදුව ඇති බව මටද වැටහි තිබූ නිසා තවදුරටත් ඒ ගැන විමසන්නට නොගියෙමි.  එසේ වුවද මේ ගීය ඉඳහිට හෝ අදටත්  රූපවාහිනී තිරය මත දිස්වන විට මගේ නම වෙනුවට වෙනත් නමක් තිරයේ තවමත් දිස්වනු දැකීමෙන් දැනේනේ කණගාටුවකි. මෙය සිදුව වසර ගණනාවක්  ඉක්ම වුවත් ඉන් පසු මේ ගීය ගැයූ දියණිය හෝ ඒ දෙමව්පියන් මට හමුවූයේ නැත.

දරුවන්ගේ ලෝකය ලස්සන වන්නේ වැඩිහිටියන්ගේ සිතුවිලි පිවිතුරු වන තරමටය. වැරදීම් සිදු වන්නේ දරුවන් අතින් නම් එය නිවැදි කරගන්නා අයුරු ඔවුන්ට කියා දිය යුතු ය. දරුවන්ගේ ලෝකය වර්ණවත් ය. විවිධ පාටින් සහ හැඩයෙන් යුක්ත ය. විටෙක දරුවන්ගේ සිතුවිල කවි වගේ ය. තවත් විටෙක ගීයක් වගේ ය. එසේත් නැත්නම් ගලා හැලෙන  ගඟුලක් වගේ ය. ලෝකය වෙනස් කරන්නට නම් ඔවුන් රැක බලා ගැනිම යහ මගට ගැනීම දෙමව්පියන්ට මෙන්ම  සමාජයත් සතු වගකීමකි.

ඒත් හැන්දෑවට සුජාත දියණිය නරඹමින් කදුලු සුසුම් හෙළන්නට තරම්  මිනිසුන් සහිත සමාජයක් බිහිකර ඒ  මිනිසුන්ගේ මිනිස් සිතුවිලි සෝදා පාලුවට ලක්වන විට පාසලේ පන්ති කාමරයේ තීන්ත ආලේප කිරීමට රුපියල් 800.00 ක් සොයා ගත නොහැකිව දෙමව්පියන්ට ඒ බර දරන්නට දෙනවාට වඩ අසල ඇති වත්තේ බිම වැටුණ පොල් ගෙඩි කීපය අහුලා එය විකුණා ගතහොත් පංතියේ අවශ්‍යතාවය සම්පූර්ණ වන බව ඒ කුඩා දියණිය සිතන්නට ඇත. නොදැනුවත් කම නිසා ඇය කරන්නේ දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ඇයගේ ළපටි ‍හිතට  කිසි සේත් නොසිතන්නට ඇත.

 කෙසේ කළත් වරද වරදම ය. එය දැන් සිදුවී හමාර ය. ඒත් සුජාත දියණිය නරඹා චංගුමීගේ දුක වෙනුවෙන් කදුළු හෙළන මිනිසුන් ඇති සමාජයක වෙසෙන ඒ පොල්වතු හිමියාට එය වරදක් බව ඒ දියණියට කියා නොදී ඇය අධිකරණය හමුවට ගෙන යන්නට  තරම් සහාසික සිතක් ඇතිවන තරමට  මේ සමාජය පිරිහුනේ කුමක් නිසාදැයි නැවතත් සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව මා ලියූ මේ ගීතය නැවත ඇසෙන විට මට සිතේ .෴

හරි ලස්සන අකුරු ලියමු
ලොකු මල්වැල් පාට කරමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් හදමු

හරි ලස්සන කවිත් කියමු
ගුරු දෙගුරුන් දෙපා වඳිමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් නගමු

හරි ලස්සන ගීත ගයමු
ගඟක් වගේ ගලා හැලෙමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් නගමු

ගේය පද:  දයානන්ද රත්නායක
සංගීතය : විශාරද එඩ්වඩ් ජයකොඩි
ගැයුම:  ඉරේෂා හර්ෂනී

හරි ලස්සන අකුරු ලියමු ” ගීතය  මෙතනින් අහන්න
                

වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න


Related Posts Plugin for WordPress, Blogger...