එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 29 October 2012

෴ සුළඟ වගේ ඇවිදින්....෴



                      සිංහල සංගීතයේ යුග යාත්‍රිකයා
මාස්ටර්, නම් වූ සිංහල සංගීතයේ අග්‍රගණ්‍ය සංගිතවේදියා අපෙන් සමු අරන් ඔක්තෝම්බර් මාසෙ 24 වනදාට හරියටම අවුරුදු හතරක් පිරුණා. ඒ 2008 ඔක්තෝම්බර් මාසෙ 24 වෙනිදා තමයි ඔහු අප අතැර ගියේ.  මේ  කාලය ගලා ගිය වේගයේ තරමටම ඔහුද අප මතකයෙන් බැහැර වෙමින් සිටිනවා. අප කාලයත් එක්ක දිවයන තරගකරුවන්ව සිටින හෙයින් එවන් සොදුරු මිනිසුන් මතකයෙන් බැහැරව යාම පුදුමයක් නොවෙයි.

එසේ වුවත්, කාලයත් සමගම සියලු දේ මතකයෙන් බැහරව යන බව අප මෙන්ම මාස්ටර්ද හොදින් දැන සිටියේය. ඒ නිසාම සිය ජීවිත කාලය තුළදී සිංහල සංගීතයේ ඔහු නියෝජනය කළ අඩසිය වසකට  අධික කාලය  අභිබවා යන සේ  මාස්ටර් සිය සංගීත ඥානයෙන්  කාලය සමතික්‍රමණය කළේය. ඔහු එය කළේ තවත් කිසිවකුටත් ඒ ඉසව්වට ළඟා විය නොහැකි පරිද්දෙනි.

අප මතකයෙක් කෙමෙන් බැහැරව යන මේ වැනි අසම සම කලාකරුවන් අස්වැන්නට අමතක කළ නොහැකිය. ඒ ඔවුන් මෙරට ජනතාවගේ බුද්ධිය සමග නිරන්තරයෙන් සංවාද කළ, සංවාදයක යෙදුණු , මිනිසුන්ගේ චින්තන රටාවන් කලාවෙන් වෙනස් කළ අසම සම වූ ප්‍රතිභාවක් සතු කාලාකරුවන් හෙවත් මහා ප්‍රාඥයන් වූ නිසාය.

මට මේ අසමසම මහා සංගීතවේදියා කිසි දිනෙක හමුවී නැතත්, ඔහු  මෙරට ගොඩනගන ලද  මහා සංගිත සම්ප්‍රදායටත්, ඔහු බිහි කළ නව සංගීත චින්තනයටත් මම මහත් සේ ඇලුම් කරමි. ඒ අන්කිසිවක් නිසා නොව ඔහු මෙරට සංගිතයේ හැරවුම් ලක්ෂයක් වූ නිසාය.

කිසිවකුටත් අත පොවනු නොහැකි දුරකින් වූ මාස්ටර් ගොඩනැගූ මහා සංගිත සම්ප්‍රදාය තුළ මම ද එක සිරකරුවෙකි. එහෙයින් අපේ කාලය තුළදී  කාලය සමතික්‍රමණය කළා වූ මාස්ටර් නම් වු ඒ මහා සංගිතවේදියාගේ  සිවු වැනි ගුණ සමරුව වෙනුවෙන් අද අස්වැන්න සටහන් කර තබමි.


1937 ජනවාරි 25 වනදා වාද්දුව තල්පිටිය ග්‍රාමයේ උපන් කේමදාස විරල ගණයේ ප්‍රතිභාවක් මිටින් ගෙනා යුග පුරුෂයෙකි. ඒ විරල ප්‍රතිභාව ඔහුටම ආවේණික විය. එවන් අසමසම වූ විරල නිර්මාණ ප්‍රතිභාවක් මිනිසුන් අතර එක් විශිෂ්ඨ මිනිසකුට පිහිටන්නේ  ඔහු සතු දුර්ලභ ගුණයක් නිසාය. සෑම මිනිසකු තුළම කිසියම් හෝ නිර්මානාත්මක හැකියාවක් තිබුණද ප්‍රතිභා සම්පන්න බව තුළ ඇති  පූර්ණ නිර්මාණාත්මක හැකියාව පිහිටන්නේ කලාතුරකිනි. ප්‍රතිභා  සම්පන්න බව කියවීමෙන්, ඇසීමෙන්, දැනගැනීමෙන්, මෙන්ම ඉගන ගැනීමෙන්ද කෙනෙකුට ළඟා කර ගත හැකි වුවත් එසේ ළඟා කරගන්නා ප්‍රතිභාව නිර්මාණාත්මකව නිසි ලෙස භාවිතා කිරිමට දක්වන සමත් කම ඒ නිර්මාණ කරුවා අසම සම නිර්මාණකරුවකු බවට පත් කරයි.  කේමදාසයන් ඒ ප්‍රතිභාව උත්පත්තියෙන්ම රැගෙන ආවේය.

බාල වියේදීම තමා ආදරය කල මවු ඇකයෙන් බිමට පැන්න ඔහු ඊළඟට තමා ආදරය කළ බටනලාවත් රැගෙන වාද්දුව තල්පිටිය ග්‍රාමිය පාසැලේ තාප්පයෙන් පැන්නේය.  කොළඹ දුවන කෝච්චියේ එල්ලී කොළඹට පැමිණ මරදානේ ඉස්ටේෂමෙන් බටනලාවද මිටින් ගෙන පංචිකාවත්ත පාරට වැටුණේ ඔහු වාද්දුවෙන් කොළඹට ගෙනා ඒ අසමසම වූ ප්‍රතිභාවයි.

පසු කලෙක මගේ කාලයේමවුනි සංගීත සංධ්වනිය ඉදිරිපත් කිරීමේදී දී  ඔහු එදා ළමා කාලයේ තම මවු උකුලේ නැළවෙද්දී  ඔහුට දැනුන අම්මාගේ  නැලැවිලි ගීයේ ස්වරයද ගාලු කොළඹ දුම්රියේ රිද්මයට එකට කැටිකොට මගේ කලයේ මවුනි  සංධ්වනිය නිර්මාණය  කිරීමේදී ඔහු නොදැනුවත්වම එළියට පැන්නේය. පානදුර, වාද්දුව ධීවරයන්ගේ හඬ සහ  ඔවුන්ගේ රිද්මය බඹරු ඇවිත් චිත්‍රපටයේ  සංගීතයට යොදා ගත්තේය. ඔවුන්ගේ සිතුවිලි උදුම්බරා ගීයෙන් පිටට ඇද සුවහසක් රසිකයන්ට ගෙන හැර පෑවේය.  ඒ ඔහු සතු වූ අසම සම වූ ප්‍රතිභාවයි.

චිත්‍රපට ගීතය , ගීතයක් නොවූ කල්හි ඔහු සිනමාව සමග අරගලයක යෙදුණේය. ඒ අරගලයේදී සිනමාකරුවා  භාවිතා කරන බස සමග සිරගත නොවී ඒ ඔබ්බබෙහි වූ සිනමාවේ සෞන්දර්යය රීතිය සංගීතයෙන් සොයා ගත්තේය. රූප රාමු ඉල්ලා සිටින ජවනිකාවලට ඔහු සිංදු හැදුවේ නැත. ඒ නිසා සමස්ත සිනමා කෘතිය සමගම සංවාදය යෙදෙන සිනමා සංගීතය සහ සිනමා ගීතය අලුත් සංධිස්තානයකට රැගෙන ඒමට කේමදාසයන්ට හැකිවිය. උදුම්බරා, හිමින් සැරේ පියා විදා, මාද ඔබම විය, සුළං කුරුල්ලෝ, ආදී ගීත ඊට හොඳම  නිදසුන්ය.  සිනමා සංගීතයේදී, බඹරු ඇවිත්, හංස විලක්, ගොලු හදවත,  නිධානය සහ තුන්වැනි යාමය ලාංකේය සිනමා සංගීතයේ නොමැකෙන සටහන් තැබු අමරණීය සිනමා සංගීත කෘතීන් වේ. මේ



සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොහි සිටදෝ - කොතැනටදෝ
සුළඟ වගේ ඇවිදින්


මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුර සැප සැදුවාදෝ

පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ

ගේය පද: බණ්ඩාර කේ විජේතුංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සහ ගැයුම: විශාරද මාලනී බුලත්සිංහල සමග
                                              ටී.එම්. ජයරත්න
                             චිත්‍රපටය: රිදී නිම්නය
                             අධ්‍යක්ෂණය: ඩී.බී.නිහාල්සිංහ



කේමදාසයන් සිංහල සංගීතය කණපිට හැරවූ විශ්වකර්මයෙකි. ඔහු සංගීතයෙන් ‍දේශපාලනය කළේය. සංගීතයෙන් වැඩකරන ජනයා සමග එක්ව අරගල කළේය. තමා නියෝජනය කල සංගීතය සමග ගැටුණේය. මිනිසුන්ට  සංගීතයට ආදරය කරන්නට ඉගැන්නුවේය. ඔහු සංගීතය සමග භාවනා කළේය. ඉන්දු නොනැවතී සංගීතය නම් වූ විශ්ව භාෂාවේ ලාංකේය සළකුණ ලෝකයට ගෙන ගියේය. ඒ සියලු දේ කළේ තමා විසින්ම ගොඩ නගා ගත් සම්ප්‍රදාය ඇසුරු කරගනිමිනි. කේමදාසයන් නිශ්චිත සංගීත සම්ප්‍රදායකයට ගැති නොවීය ඔහුට තිබූ එකම සම්ප්‍රදාය කේමදාස සම්ප්‍රදාය පමණි. ඔහු සංගීතයෙන් තමා සමගම අරගල කරගත්තේය. ගීතයේ සිවුපද ආකෘතිය කඩා බිඳ දැම්මේය.

වේදිකාවේ  ජුලියස් සීසර්, මරාසාද්, අංගාරා ගඟ, මහාසාර, සත්‍යාංගනාවී ආදී නාට්‍ය වල මෙන්ම ඒකා අධිපති,  මකරාක්ෂයා, ධවල භීෂණ. ආදී වේදිකා නාට්‍යවලදී  නාට්‍ය          සංගීතය තුළ   සිය අණසක පතුරවා හැරියේය. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව අද මෙන් සෝප් ඔපෙරා ටෙලි නාට්‍ය ලෙසින් නොව එදා සිනමාව තරමටම මිනිස් චින්තනය අවදි කළ ටෙලි නාට්‍ය කලාවක් තිබුණි. ඒ ටෙලි නාට්‍ය කලාවේ   නොපෙනෙන ගැඹුර කුමක්ද යන්න ඔහු නිර්මාණය කළ  ටෙලිනාට්‍ය සංගීතය අපට අද දවසේ සිහිකර දෙයි. ඇල්ල ළඟ වලව්ව,  ගඟුලෙන් එගොඩට,  පුර සක්මන,  වෙද හාමිනේ, දඬුබස්නාමානය, ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ අපූරු සිහිවටන පමණක් වූයේ ඒ ටෙලි නාට්‍යවල පිරි තිබූ සංගීතය නිසාය. ඒ අන් කිසිවකු නොව ටෙලි නාට්‍ය තුළ ඔහු ගොඩ නැගූ අද්විතිය සංගීත සම්ප්‍රදායයි.


තම අත පොවනු නොහැකි දුරකින්,  ඈත සිතිජයෙහි වූ අහස පොළව  යා කරන සයුරු රේඛාවේ ඇඳි රිද්මය ඔහු හඳුනාගත්තේය. මිනිසුන්ගේ හදේ රිද්මය ඔහුගේ නිර්මාණ තුළ විය. පෙර අපර දෙදිග සම්ප්‍රදාය භාවිතා කරමින් නිර්මාණ කළේය. ජන සංගීතයේ ඇසුරින් ජන කවිය නූතන බසට ප්‍රතිනිර්මාණය කළේය. පිරිත් සහ සූත්‍ර දේශනාවන්හි සංගායනා  රිද්මය ඇසුරු කර ගනිමින් කැන්ටාටා, ඔපෙරා.  නිර්මාණය කළේය. ඒ නිසා කේමදාසයන්  නිරන්තරයෙන් සංගීත නාද රටා සමග මිනිස් හඬ මුසු කරමින් නව සංගීත ආකෘති අත්හදා බැලීමට කිසිම විට පසුබට නොවීය. ලෙස්ලි ප්‍රනාන්දු වැනි අසීමිත හඬ පෞරුෂයක්  සහ ගායන පරාසයක් ඇති ගායන ශිල්පින් ගේ විරල හඬින් ඔහු අසිමිත ප්‍රයෝජනය ගත්තේය. මේ එවන් වූ අවස්ථාවක ජන සම්ප්‍රදාය නූතනයට කළ අත්හදා බැලිමකි.


බොලන් පොඩි නංගි ටිකක් හිටපන්
බුලත් විට කන්න ටිකක් හිටපන්
කුසයේ දැවෙනා ගින්දර රස්නෙන්
රබාන රත්වෙනවාලූ
දුකට කියන මගේ විරිදු සුරල් මේ
නෑසෙනවා දෝ
පින්වතුනේ පින්වතුනේ 
කරුණාවන්ත වූ මහතු‍නේ

කැසට් විදියේ ඒ රොප්පේ
රංග තාල සද්ද නැගෙන්නේ
මගේ විරිදූ
අකුර අකුර බිම පෑගෙන්නේ‍
මටත් කියන්න වේවිද
ගෝර නාඩු සිංදු ගීත
පින්වතුනේ පින්වතුනේ 
කරුණාවන්ත වූ මහතු‍නේ

නවින පන්නේ ආ දවසේ
සිදාදියේ අප මිය යන්නේ
සිනා සතුටු
බමර අතර අප නවතින්නේ‍
හෙටත් බලා ඉන්නද
වීදි කොනක මග තනිවී
පින්වතුනේ පින්වතුනේ 
කරුණාවන්ත වූ මහතු‍නේ

ගේය පද: ආචාර්යඅජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සහ ගැයුම: ලෙස්ලි ප්‍රනාන්දු



කේමදාසයන් කිසියම් හෝ සම්ප්‍රදායක් අබියස අඟුටු මිට්ටෙක් නොවීය. ඔහු අභියස තිබූ  ඒ චූල සම්ප්‍රදායට ඔහු අභියෝග කළේය.  දෙවරක් නොසිතා කුළු ගෙඩියෙන් වැරෙන් පහරක්දී  සුනු විසුනු කර දමන්නා සේ ඒ සම්ප්‍රදායේ සියලු බැමි පුපුරවා හැරියේය. සිංහල සරල ගීතයේ වෙනස්කම් රැසක් ඔහු අතින්  සිදු වූයේ චිත්‍රපට ගීත තරමටම රස ගන්වමිනි. එකල ගුවන්විදුලි ගිත අතිශය ජනප්‍රිය වූයේ ඔහුගේ මේ සංගීතයේ අරගලය නිසාය.

චිත්‍රපට සංගීතයෙන්, සරල සංගීතයෙන් ඔබ්බට ගොස් ඊට  ඈතින් වූ ලෝකය සෙව්වේය. එයින් ලාංකේය සංගීත රසිකයන්ට සංධ්වනි සංගීතය, ඔපෙරා, කැන්ටාටා වැනි ලෝ සුපතල සංගීත ක්‍රම හඳුන්වා දී  ලංකාවේ රසිකයා  ඊට නැඹුරු කළේය.


70 දශකයේ මෙරට බිහිවූ සියලුම ගාක ගායිකාවන් සඳහා එකදු ගීයක් හෝ නිර්මාණය කරමින් ඔවුන්ගේ ගායනයේ ස්වර විස්ථාරණය හෙවත් ස්වර පරාසය ගැනත් හොඳ අවබෝධයක් ලබාගත්තේ අවශ්‍යම අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගායන හැකියාවෙන් ප්‍රයෝජනය ගැනිමටය. අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, නන්දා මාලනී ඇතුළු ඒ දශකයේ සියලුම ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ද, එවකට ජනප්‍රිය ශිල්පීන් වූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්.ප්‍රනානන්දු, ෆ්‍රෙඩී, ඇන්ජලීන්, වැනි අයගෙන්ද  කේමදාසයන් විපුල ප්‍රයෝජන ගත්තේය.

ග්‍රැන්විල් 
කිසිම දවසක ජනප්‍රියත්වය හඹා නොගිය අයිවෝ ඩෙනිස්, ලෙස්ලි ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනන්දු, මාෂල් ජනතා, ගාමිණී සරච්චන්ද්‍ර , විජේසුන්දර වේරගොඩ,  සුනිලා අබේසේකර,  ග්‍රැන්විල් රොඩ්රිගෝ සහ සුනිල් සිරිවර්ධන වැනි ශිල්පින්ගේ හඬහි ප්‍රතිභාව පිලිබඳව ඔහුට මනා වැටහීමක් තිබුණි. ඒ  නිසා ඔහුගේ අත්හදා බැලිම සඳහා මේ ගීතමය හඬ නිසි ලෙස නිසි තැනට භාවිතා කිරීමට තරම් සූක්ෂම සංගිත ඥානය ඔහු සතු විය.


එවන් වූ ශිල්පින් අතරින් ග්‍රැන්විල් රොඩ්රිගෝ ගායන ශිල්පියාගේ ගායනයත් රංගන ප්‍රතිභාවත් මට යාන්තමට සිහිවේ. කේමදාසයන්ගේ ගායන වෘන්දයන්හි සිටි ග්‍රැන්විල් වැනි ශිල්පියෙකුගේ හඬ ඔහු යොදාගන්නේ අපූර්ව ආකරයෙනි. මේ ග්‍රැන්විල්ගේ අපූරු හඬ ඊට නිදසුනකි.


මගේ යටත් වැසියෝ සියලු දෙනාම
මුලු දවස පුරා සිනාසිය යුත්තෝය
මේ රජ අණ කඩ කරන 
කඳුළක් හෙළන
 ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
බරපතල දඬුවම් පමුනු වනු ලැබේ..
ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජු‍ගේ
 අලුත්ම නියෝගයයි ඒ.....


ඔහුට වුවමනා වුණේ
තම රටවැසියන් සියළු අගහිඟයෙන් දැවෙතත්
කිසිඳු අගහිඟයකින් තොරව
යස ඉසුරින පිරී දිවි ගෙවන බවට
අවට ලෝකයට හැඟවිමටය.



ඔහුට වුවමනා වුණේ
තමා මහා කුරිරු පාලකයෙකු වෙතත්,
අමන මෝඩයෙකු වෙතත්,
ඒ බව වැසෙන සේ අමුතු අමුතු සෝබන පා
ජන සිත් රවටා
තමා මහා රසිකයෙකු බවත්, මහා ප්‍රාඥයෙකු බවත්
මේ රට වැසියන්ට හැඟවිමටය.

ඔහු ඉදිරියේ  සිටින බත් බැල සන්නිවේදකවරු
මෙහිදී..
මහා රජුගේ මහා ගුණය මහා නුවණ
මහා ඉහළින්ම වනන්නට වූහ.

කපටි නිළමේවරුන්,  ආවතේවකරුවන්
ඒ වෙනුවෙන් උත්සව සංදර්ශන
සංවිධානය කරන්නට වූහ.
බඩගැති පූජකවරුන් ඊට ආශිර්වාද කරමින්
ප්‍රකාශ නිකුත් කරන්නට වූහ.

වෙනත් කළ හැක්කක් නැතිව
අසරණ රට වැස්සෝ..
රජ අණ පිළිපදිමින් සිනාසුනහ.
ඇතුළත වෛරය සඟවාගෙන
පිටතට නොපෙනෙන්නට සිනාසුනහ.
උදේ සිටන් රෑ වන තුරු ‍කොතෙකුත් සිනාසුනහ.

එහෙත් ඒ සෑම දිනකම අඳුර වැටී එද්දී
රෑ බෝවූ පසු හොර රහසේම
ස්ටෙප්ස් තැනිතලාවට එකතුවී
කෝපය සංසිදෙන තුරු පිළිකුල හමා යන තුරු
සිත් සැහැල්ලු වන තුරු
දෙස් දෙවොල් තියමින්  හත් හැවනි හවමින්
කදුළු වැසි වස්සමින්
ඇති තරම් හැඬූහ........

රචනය: ඩේවිඩ් කූගල්තිනොව්
අනුවාදය: සහරිසි කුලතන්තිල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:    ග්‍රැන්විල් රොඩ්රිගෝ



මේ සා වූ  අති විශාල සංගීත ඥානයකින් හෙබි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගොඩනැගූ ඒ සංගිත සම්ප්‍රදායන් මතු දවසටද වලංගුව පවතින්නේය.෴

වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.  


Sunday 21 October 2012

෴ඔබ හඬන්න ඇති රෑ පුරාම....෴



නාලකගේ ගිටාරයෙන් හැඬවූ එඩ්වඩ්ගේ ගී රාවය

ආදරය සහ ප්‍රේමය තේමාවූ ප්‍රේම ගීතවලට වඩා ආදරය හෝ ප්‍රේමය බිඳ වැටුණු විට දැනෙන වියෝව ගීතයට මුසු වන්නෙ විප්‍රලම්භ සෘංගාරය පිරුණු ගීත ලෙසින්. යම් කෙනෙකුට ලැබෙන ආදරයෙන් දැනෙන සතුට වගේම තවත් කෙනෙකු ඒ ආදරයේ වියෝගයේ කොටස් කාරයෙක්  වූ පසුව දැනෙන , විඳවන සියුම් වේදනාවම ගීතයකින් ඇසෙන විට තවත් හිතකට කිසිඳු දුකක් හෝ වේදනාවක්  ඇති නොවුණත් අපි ඒ ආදරයේ වියෝගය මොහොතක් තනිවෙන්න කැමතියි. එහෙම නොවුණත්, මනසින් හෝ ඒ අහිමි ආදරය පිරුණු ලොවක මනසින් සැරිසරනවා. ඒ නිසා අපි වැඩියෙන්ම කැමති මුසුවූ විප්‍රලම්භ සෘංගාරය ගෙන දෙන ගීත ඇසීමටයි.

ඒ කොහොම වුණත් හොඳ තේමාවකින් ගීතයක් ලියන්න මනසේ දොරගුළු විවර කරගත් විට ගීතයට ප්‍රවේශ වෙන්න හොඳ කවි සිතක් වගේම  හොඳ මනස සැහැල්ලුවෙන් තබා ගැනිමත්  ගීතයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා. ඒ විදියට ගීයක් ලියන්න හිතුනාම හොඳ මූඩ් එකක් හදාගන්න මම මුලින්ම කරන්නෙ වඩාත් සිත්ගත් පොතක පිටු දෙක තුනක් කියවන ගමන්  හිතට දැනෙන ගීයක් අහන එක.

විශාරද එඩ්වඩ් ජයකොඩි
අන්න ඒ විදියට මගේ අතින්  ලියැවුණ ගීතයක් ගැන තමයි අද අස්වැන්නෙන් සටහන් කරන්නෙ. මේ ගීතය ගැන හෝ එහි හොඳ නරක  ගැන නම් මම කිසිවක් ලියන්නෙ නැහැ. ඒත් මේ ගීතය පසුපස තිබෙන පුංචි පුංචි කතා ටිකක් සටහන් කරන්නම්. මේ ගීයත් ලියැවුනේ මීට වසර කීපයකට කලින් එක්තරා රාත්‍රියක සිතුවිලි අවදි  කරමින් මනෝ ලෝකයක සැරිසරද්දි  හිතේ ඇඳුන සිතුවිල්ල  ගීතය බවට පත් වුණා. ඒත් ගීතය ලියන විටම ගීතය තුළ රැඳී හිටියේ ගායන ශිල්පියෙක්. ඒ නිසා ගීතය ගායනා කළ යුත්තේ කවුරුන් විසින්ද යන කාරණය ගීතය ලියවෙන විටම හිතේ සටහන්  වෙලා තිබුණා.

එක දවසක හැන්දෑවක වයලීන වාද්‍ය ශීල්පී රෝහණ ධර්මකීර්ති සොහොයුරා එහෙමත් නැත්නම් මගේ වචනයෙන්ම කියනව නම් “රෝහණ අයියා” හම්බ වුණේ අහම්බෙන්. මම මීට පෙර අස්වැන්නෙදි කිපවතාවක්ම රෝහණගේ වයලීනවාදනය ගැන ලියල තියෙන නිසා නැවත ඔහු අමුතුවෙන් හදුන්වා දිය යුතු  නැහැ. රෝහණ අයියා එක්ක ආ ගිය තොරතුරු කතා බහ කරන ගමන්ම ඔහුට ගීතයක් ගායානා‍ කරන්න අවශ්‍ය බවත් ඒ සඳහා ගීතයක් ලියා දෙන ලෙසත් මගෙන්  ඉල්ලීමක් කළා.  අමුතුවෙන් ගීතයක් ලියන්න අවශ්‍ය නොවූ නිසා ඒ මොහොතේම මගේ ගීත ගොනුව රෝහණ අයියගේ අතේ තැබූ සැනින් ලිපි ගොනුවේ කීපවිටක් එහා මෙහා ගිය ඔහුගේ ඇස නතර වුණේ මේ ගී පදමාලාව ලියූ කඩදාසියේ.

“මේකෙන් වැඩක් ගන්න පුළුවන් . මම මේක ගන්නවා”

රෝහණ අයියා කීවේය. රෝහණ ඉතාමත් මියුරු ස්වරයෙන් ගීත ගායනා කරන බව හොඳින් දැන සිටිය නිසා මගේ හිතේ ද සතුටක් ඇති වූයේ රෝහ‍ණගේ හඬින් මගේ ගීතයක් ගායනා කරනු දැකීමටය. ඒ විදියට ඔහු තෝරාගත් මේ ගීය රැගෙන ගිය පසුව නැවත ඒ ගැන විමසිමක් කරන්නට නොසිතුනේ මේ ගී පදමාලාවට යම් සාධාරණයක් ඔහු විසින් කරනු  ඇතැයි යන සිතුවිල්ල මා සිත තුළද තිබූ නිසාය. ඒත් ඊට සති දෙක තුනකට පස්සෙ ඇමතුමක් ආවේ එඩ්වඩ්ගෙනි.

“මම ඊයේ ඔයාගේ සිංදුවක් කිව්වා නියම වචන සෙට් එකක්”

“මොකක්? මගෙ සිංදුවක්”

“ඔව්, මල්ලි ලියපු එකක්”

“ඉතිං මම එඩ්වඩ් අයියට සිංදු ලියල නැහැනේ”

“මට නොලිව්වට ලියපු එකක් කිව්වා”

එඩ්වඩ්ගේ තිස්පස් වසරක සංගීත දිවියේ ඔහුගේ සෞන්දර්යය චාරිකාව අලලා සියලු තොරතුරු ඇතුළත් කර පොතක් ලියන්නට ඔහු කළ ආරාධනය අනුව 2003 වසරේදී “මාරම්බරී” එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාවලෝකන කෘතිය මවිසින් සංස්කරණය කර එළිදක්වන ලද නමුත් ඒ වන විටත් කිසිඳු දවසක ඔහුට ගීත ලිවිමට අවස්ථාවක් උදාවී නොතිබුණි. මේ නම් අදහා ගන්න බැරි දෙයකි. මම නැවතත් විමතියෙන් ඇසුවේ ඒ ගීතය ඔහු අතට පත් වූයේ කෙසේද යන්න  ගැන තොරතුරු දැන ගැනිමටය.

මම ලියූ පොත

“ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැගුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කදුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම
නොනිඳා හිටියා..”

කෙසේ වුවත් දුරකතනය ඔස්සේම  එඩ්වඩ්‍ගේ සජීවි මිහිරිම ගී හඬ  සවනට වැටෙව විට මගේ දෑස් උඩ ගියේය.

“මේක කොහොමද හම්බ වුණේ”

“රෝහණගෙ වැඩකට නාලක මෙලඩිය කරල තිබුණා. ඊයේ රෙකෝඩින් එක ගුවන් විදුලියේදි කළා.”


එඩ්වඩ්ගේ ඒ දුරකතන  ඇමතුමෙන්  පසුව  නැවත එසැණින් රෝහණ අයියාට කතා කළෙමි. ඔහු නිෂ්පාදනය කළ ගුවන් විදුලි වැඩසටහනකට ගීතයක් අඩුව තිබූ නිසාත්,  හදිස්සියේ ගිතයක් නිර්මාණය කිරීමට වේලාවක් නොතිබූ නිසාත් එදා රෝහණ මගෙන් ඉල්ලා ගත් මේ ගීතය යොදාගත් බව රෝහණ කීවේය.

“ඉක්මනින් අහන්න විදිහක් නැද්ද”

නාලක අංජන කුමාර
මා රෝහණගෙන් පෙරළා ඇසුවේමේ  ගීතය මගේ දෙකනින් ඇසීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් සිටි බැවිණි. මේ ගීතය රෝහණ නිෂ්පාදනය කරන  “ගී රස වින්දන” වැඩ සටහනට ඇතුළත් වන බවත්, එය පැය බාගයක ගුවන් විදුලි වැඩසටහනක් බවත් ඔහු කීවේය. මේ වැඩසටහනේ ආරාධිතයන්  ලෙස  ප්‍රවීන ගීත රචක ගීතනාත් කුඩලිගම මහතාත් මමත් ඒ ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වූයෙමු. ගීතය මුල්වරට ගුවන් විදුලි ගීයක් ලෙසින් එසේ ප්‍රචාරය විය.

ඉන් පසු  නැවත මේ ගීය මතු වූයේ එඩ්වඩ් අලුත් ගිත ඇල්බමයක් සදහා සූදානම් වූ මොහොතේය. ඔහුගේ නවතම ගීත එකතුව සඳහා මටද ගීයක් ලියන ලෙස ඇරයුම් කළේය. අලුතෙන් ගීයක් ලියනවාට වඩා මේ ගීය ඇල්බමයට ඇතුළත් කරමු යැයි මම යෝජනා කළෙමි. ඒ අනුව නැවත ගීතය පටිගත කරන ලදි. ඒත් නොසිතූ මොහොතක එඩ්වඩ් කතා කළේය.

“හරි වැඩේ ඔයාගේ සිංදුවට කැසට් ප්‍රොඩියුසර් කැමති නෑ මොකද කරන්නේ?”

“ඒ ඇයි, මොකක්ද මේ ගීයේ තියෙන ගැටලුව?”

“මේක ටිකක් ස්ලෝ වැඩියි කියනවා”

යම් ගායකයෙක් හෝ ගායිකාවක් කැසට් නිෂ්පාදකයා සමග එළඹෙන ගිවිසුම අනුව ගීත තෝරා ගැනීම නිෂ්පාදකයා සතුවේ. ඒ ඔහු සම්පූර්ණ පිරිවැය දරන නිසාය. ඒ වන විටත් කැසට් පටයේ ගීත රැසක පටිගත කිරිම් අවසන්ව තිබූ නිසා තවත් ඉතිරිව තිබුණේ ගීත කීපයක කටයුතු පමණක් බව මම හොදින්ම දැන සිටියෙමි.

“ඒ කියන්නේ මේ කැසට් එකෙත් මගේ සිංදුවක් නෑ?” මම කීවෙමි.

‘මේ කැසට් එකට ඔයගේ සිංදුවක් දානවා ඒකෙ වෙනසක් නෑ ඒත්  ඔයාට ට්‍රැක් එකට ලියන්න පුළුවන්නේ”

“ට්‍රැක් එකට ලියනවට වඩා මේ කරල තියෙන ගීයට කැමතියි” මම කීවෙමි.

ඒ කතාබහ එතැනින් අවසන් වුවද, ඊට දින කීපයකට පසුව අපි නැවත  කැසට් නිෂ්පාදකයා හමුවීමු. එහිදී නැවත මගේ ගීය ගැන කතාබහ ඇති විය.


“මල්ලි, මේ කැසට් එකේ වැඩියෙන්ම තියෙන්නෙ තෝරාගත් පදමාලා. ඒත් ට්‍රැක් තියෙන්නේ හතරයි. ඒ ට්‍රැක් තවම කළේ නෑ. ඒ ට්‍රැක් එකක් දෙන්නම් ඒකට ලියන්න."

මම
සංගීත් විජේසූරියගේ අගටන්නා ට්‍රැක් එකට ලියා තිබූ බව එඩ්වඩ් මෙන්ම කැසට් නිෂ්පාදකයාද හොදින් දැන සිටි නිසා නැවත මගේ යෝජනාව ඉටු නොව බව වැටහුණි. ඒ නිසා මේ ගීතය ඒ කැසට් පටයෙන් ඉවත් විය. තව දුරටත් තර්ක  ඉදිරිපත් කිරීමෙන් පලක් නොවූ නිසා මේ ගීතය  එඩ්වඩ්, නාලක සහ මා අතර පමණක්  ඉතිරි විය. ගීතයට ඉතිරි වූයේ අමිහිරි අතීතයක් පමණි.


එසේ වුවද, ඉන් අනතුරුව රූපවාහිනී වැඩසටහන් ගණනාවක් සදහා එඩ්වඩ් මේ ගීතය ගැයීය. ඒ අතර නාලක ගිටාරයෙන් හැඩ ගැන්වූ මේ ගීය නාලක විසින්ම සංගීතය අධ්‍යක්ෂණය කළ  “සුරම්‍ය රාත්‍රිය” වැඩසටහන සඳහා එඩ්වඩ් එක් රැයක  ගායනා කළේය. මේ ගිතය මා දුටු අන්තිමටු ඒ  රූපවාහිනී වැඩසටහනයි. මතු දැක්වෙන්නේ කැසට් නිෂ්පාදකයාට එපා වූ ගුවන් විදුලි නාලිකාවලට පමණක් සිමා වූ  එඩ්වඩ්ගේත්, නාලකගේත්, මගේත් ගීයයි.


ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම
නොනිඳා හිටියා


රළු බොරලු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
නුඹ හඬන හඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළ උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදුවෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි
                            
ගේය පද: දයානන්ද රත්නායක
සංගීතය : නාලක අංජන කුමාර
 ගැයුම: විශාරද එඩ්වඩ් ජයකොඩි


“ඔබ හඬන්න ඇති රෑ පුරාම ” ගීය  මෙතනින් අහන්න
                  


වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න. 

Related Posts Plugin for WordPress, Blogger...